විභාග මූලික අධ්‍යාපන ක්‍රමය වෙනුවට කුසලතා මූලික අධ්‍යාපන ක්‍රමයක්….! පෙළපොත් වෙනුවට දරුවන්ට වැඩපොත්….!

February 14, 2021 at 5:54 pm | by emanisa.lk

පාසල් පෙළ පොත් පාඩම් විභාග ක්‍රමය සම්පූර්ණයෙන් ම අහෝසි කිරීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය ලේකම් ආචාර්ය උපාලි සේදර පවසයි.

ඒ අනුව 2023 වසරේ සිට සිසුන්ට පෙළ පොත් භාවිතයෙන් විභාගවලට මුහුණ දීමට සිදු නොවන බවත් සිසුන්ට පෙළ පොත වෙනුවට වැඩ පොතක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ලේකම්වරයා කීය.

නව ක්‍රමයට අනුව 2023 වසරේදීම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වැඩ පොතට අනුව පැවැත්වෙන අතර 2025 වසරේ සිට අ.පො.ස උසස් පෙළ විභාගයත් සම්පූර්ණයෙන්ම පෙළ පොතින් ඉවත් කර වැඩ පොතට අනුව පැවැත්වෙන බවද ලේකම්වරයා පැවසීය.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බවත් සිසුන්ට පෙළ පොත හා විභාග මූලික අධ්‍යාපන ක්‍රමය වෙනුවට දැනුම භාවිතයෙන් කුසලතා වර්ධනය (Performance Test) කළ හැකි ක්‍රමවේදයකට අනුව ඉදිරියේදී පරීක්ෂණ පැවැත්වෙන බවද ඔහු පැවසීය. එහිදී සිසුන්ට පරීක්ෂණයන්ට අදාළ සම්මාන (Credit System) ලබා දීමේ ක්‍රමයක්ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු කීවේය. ඒ අනුව නව වැඩ පොත ආරම්භයේදී 1,2 ශ්‍රේණි සඳහාත් ඉන්පසුව 6 සිට 10 ශ්‍රේණි සඳහාත් හඳුන්වා දෙනු ඇත.

අදාළ වැඩ පොතට අනුව වාර 3 සඳහා වැඩ පොත් තුනක් ලබා දෙනු ඇත. මේ වසරේ සිට තෝරාගත් පාසල් 10ක නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර ඌව, සබරගමුව, මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමද මේ වන විට අවසන්ව කර ඇති බවත්, මාර්තු මස මැද සතිය වන විට පළාත් 9 ම අදාළ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ කටයුතු අවසන් වන බවත් ලේකම්වරයා පැවැසීය.

මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ජාතික පාසල් 1169ක් අලුතින් ආරම්භ කිරීමට සුදානම් වන අතර එම පාසල් ඉදිවීමෙන් අනතුරුව ශිෂ්‍යත්ව විභාග ක්‍රමයේද පැහැදිලි වෙනසක් සිදුවිය හැකි බව රාජ්‍ය ලේකම් උපාලි සේදර සිළුමිණට පැවැසීය. මෙම ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රීඩා විෂය අනිවාර්ය අංගයක් වන අතර මේ සියල්ලේම අරමුණ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මේ වන විට සිසුන් පත්ව ඇති ආතතිය අවම කිරීම බව ඔහු වැඩිදුරටත් කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස