යහපාලන ජාතික විධායක සභාව, දූෂණ විරෝධී කාර්යාලය සහ FCIDය ව්‍යවස්ථා විරෝධීයි….! රනිල් පාඨලී අනුර මංගල කමිටුවට ගස් යන්න වෙයි…! ජනපති කොමිසම…

February 8, 2021 at 8:03 am | by emanisa.lk

යහපාලන ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය විසින් පිහිට වූ ජාතික විධායක සභාවත්, ඒ මගින් ඇති කළ දූෂණ විරෝධී කමිටු කාර්යාලයත්, දූෂණ විරෝධී කමිටු කාර්යාලය මගින් පිහිටවූ පොලිස් මූල්‍ය අපරාධ ඒකකයත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර දඬුවම් ලබාදීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධිකරණයක් නොමැති බැවින් නියමිත දඬුවම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබා දීමට බලය පැවරෙන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් ස්ථාපිත කරන ලෙස ද දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇත.

ඉකුත් 2015 වසරේ ජනවාරි මස 21 වැනි දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ඇමැති පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සන්දේශ දෙකක් එකවර සලකා බැලීමෙන් අනතුරුව එවකට අමාත්‍ය මණ්ඩලය මගින් මෙම දූෂණ විරෝධී කමිටුව ස්ථාපිත කර ඇත.

එසේම අදාළ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ වියදම් සඳහා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහගේ වැය ශීර්ෂයෙන් 2015, 2016 සහ 2017 යන වර්ෂ තුළ රුපියල් ලක්ෂ 337 කට අධික මුදලක් නීතිවිරෝධී ලෙස වැය කර තිබෙන බවද කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ව තිබේ.

ඒ අනුව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු ඇමැතිවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රාවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, මලික් සමරවික‍්‍රම මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, හිටපු අගමැති ලේකම් සමන් ඒකනායක ඇතුළු 22 දෙනකු අල්ලස් පනතේ 70 වගන්ති යටතේ සහ පොදු දේපළ පනතේ 5 වැනි වගන්තිය සමග කියවිය යුතු දණ්ඩ නීති සංග‍්‍රහයේ 386 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු දූෂණය හා සාපරාධී සාවද්‍ය පරිහරණය මෙන්ම සාපරාධී විශ්වාසය කඩකිරීමේ වැරදි සිදුකර ඇති බව ද කොමිසම සඳහන් කරයි.

මේ හෙයින් අදාළ පැමිණිලි විභාගයන්හිදී කොමිසම වෙත ඉදිරිපත් වූ සාක්ෂි සහ ලේඛන නීතිපතිවරයා වෙතත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙතත් යොමු කරන ලෙස ද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සභාපතිත්වය දැරූ කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක හා හිටපු පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු කටයුතු කළහ.

කොමිසම මගින් නිර්දේශ කර ඇති පරිදි කටයුතු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය දා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට ද කටයුතු කරනු ලැබීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස