රුපියල් මිලියන 900කට අධික පිරිවැයක් දරා විදෙස් සමාගම් ඔස්සේ සවි කරන දුම්රිය මාර්ග සංඥා පද්ධති ත්රිත්වයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු හා තාක්ෂණ ශිල්පීන් රුපියල් මිලියන හැටක උපරිම පිරිවැයක් දරා නිම කර ඇත.
මෙම පද්ධති සවිකර ඇත්තේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ නාරාහේන්පිට, නුගේගොඩ සහ මහරගම යන දුම්රිය ස්ථානවලය.
එක් දුම්රිය සංඥා පද්ධතියක් සවි කිරීමට රු. මිලියන 20ක් වැය වන අතර ඒ සඳහා වැය වන සමස්ත මුදල මිලියන 60කි. එම මුදලින් මිලියන 20ක් පමණ විදේශවලින් උපකරණ හා භාණ්ඩ ආනයනය කිරීම සඳහා වැය වන අතර ඉතිරි මුදල දේශීය මිල දී ගැනීම් සහ කාර්ය මණ්ඩල අතිකාල හා අමතර වියදම් සඳහා වැය වේ.
විදේශ සමාගම් හරහා එක් දුම්රිය ස්ථානයක මෙම පද්ධතියක් සවිකිරීම අවම වශයෙන් රුපියල් මිලියන තුන්සියයක පිරිවැයක් දැරීමට සිදු වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය දෙපාර්තමේන්තු තාක්ෂණ ශිල්පීන් රුපියල් මිලියන හැටක උපරිම පිරිවැයක් යට කරමින් නිම කර ඇත.
මේ මගින් විදේශ විනිමය රුපියල් මිලියන 880කට අධික ඉතිරියක් රටට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥා උප දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.