පින්බර සිරිපා වන්දනා සමය ඇරඹෙන උඳුවප් පොහොය අදයි….!

December 29, 2020 at 8:54 am | by emanisa.lk

උඳුවප් පොහොය වර්ෂයේ අවසාන පොහොය වන අතර එය අද දිනයට යෙදී තිබේ. ලංකාවාසී බෞද්ධ අපට මෙ දින විශේෂයෙන් වැදගත් දිනයකි.

දේවානම්පියතිස්ස රජුගේ ඇමැතිවරයෙක් වූ අරිට්ඨ ඇමැති දඹදිවට ගොස් සිදු කළ සාර්ථක සාකච්ඡාවලින් පසු තම දියණිය වූ සඟමිත් තෙරණිය ශ්‍රී ලංකාවට එවීමට ධර්මාශෝක රජතුමා විසින් සූදානම් කරවන ලදී.

එළඹුණු සුබ මොහොතින් සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින හතක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ද රැගෙන දඹකොළ පටුනට වැඩියේ උඳුවප් පොහොය දිනයේ ය.

සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ තවත් භික්ෂුණීන් එකොළොස් නමක්ද එම පොහෝ දින ම ලංකාවට වැඩම කළහ.

දඹකොළ පටුනට පෙරහරින් ගමන් කළ දේවානම්පියතිස්ස රජතුමා අතිමහත් භක්තියෙන් කරවටක් මුහුදේ බැස සංඝමිත්තා තෙරණිය වැඩි නැව ආසන්නයට යමින් ශ්‍රී මහා බෝධිය සමඟ රන් පාත්තරය පිළිගෙන මහ පෙරහරින් අනුරාධපුරයට වඩම්මවා මහමෙව්නාවේ රෝපණය කළේ ද එම පොහෝ දිනම ය.

මේ හේතුවෙන් ලාංකීය කාන්තා ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් ලියවීම ආරම්භ කරමින් මෙහෙණි සස්න පිහිටුවීම ද සිදුවූ‍යේ ද උඳුවප් පොහොය දිනයේ දී ය.

ලාංකීය අපට උඳුවප් පොහොය දිනයේ සිදුවන තවත් වැදගත්ම සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පාපහස ලද සිරිපාද වන්දනා සමය මෙම පෝය දිනයේදී ඇරඹීමයි.

පැල්මඩුල්ලේ සිට සමන් දේව ආභරණ පෙරහැරකින් සිරිපා මළුවට රැගෙන ගොස් තැන්පත් කරන්නේ එදිනට ය. ඉන්පසු ඇරඹෙන සිරිපා සමය මාස පහකට (වෙසක් පොහොය වන තෙක්) ආසන්න කාලයක් පවතී.

රාජකීය පණ්ඩිත මැදගම පඤ්ඤාරතන හිමි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *