අම්මගේ මළ ගෙදර වයින් බිව්ව අයියා මලෝ මරුට! මස්සිනා ඇතුළු දෙදෙනෙක් රෝහලේ!

December 15, 2020 at 10:00 am | by emanisa.lk

මීරිගම, කීනදෙනිය ප්‍රදේශයේ සිය මවගේ අවමංගල්‍ය කටයුතු සඳහා පැමිණ, පිරිසක් සමඟ මත්පැන් පානය කළ සොහොයුරන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ප්‍රදේශයේ පුද්ගලයෙකු ලබාදුන් ස්ප්‍රීතු වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව ඇති වූ අසාත්මිකතා නිසා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මොවුන් මෙලෙස මියගොස් ඇත.

එම මත්පැන් පානය කර මරුමුවට පත් අයගේ මස්සිනා මීරිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

පෙරේදා (13) රාත්‍රියේ ඔවුන් මෙලෙස මත්පැන් පානයකර ඇති අතර, මියගිය පුද්ගලයින් එකම පවුලේ 54 සහ 47 හැවිරිදි සහෝදරයින් ය.

මත්පැන් සාදයට එක්ව සිටි අනෙක් පුද්ගලයා වන හමුදා සෙබළා ඊයේ (14) නෙරියකුලම 213 බල සේනා මූලසථානයේ රාජකාරි සඳහා වාර්තා කිරීමට පිටව ගොස් ඇති බව ද ඔහු ද හදිසියේ අසනීපව අනුරාධපුර මහ රෝහලට ඇතුලත් කර ඇතැයි ද හෙළි වී ඇත.

අවමගුල් නිවසට යාබද නිවසේ පදිංචි කොළඹ වරායේ සේවය කරන පුද්ගලයකු මෙම මත්පැන් බෝතලය ලබා දී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙලිවී ඇත. එහි මත්පැන් වර්ගයක් හෝ නාමයක් දැනගන්නට නැතැයි ද පොලිසිය කියයි. එම පුද්ගලයා අද උදෑසන නීතිඥයකු මාර්ගයෙන් මීරිගම පොලිසියට බාරවී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *