2021 අයවැය නව ලිබරල්වාදයේ අවසානයයි! නව ආර්ථික මොඩලයක සමාරම්භයයි! – මහාචාර්ය සුමනසිරි ලියනගේ

November 19, 2020 at 12:22 pm | by emanisa.lk

මහාචාර්ය සුමනසිරි විසින් තබන ලද ෆේස්බුක් සටහනක් පහත දැක්වෙයි.

උදැහන සටහන

1. 2021 අයවැය නිසි පරිදි තේරුම් ගැන්ම ආරම්භකළ හැක්කේ එය 2018 සහ 2019 අයවැය සමග සැසදීමෙනි. මෙම අයවැය දෙක මගින් මංගල සමරවීර තැත්කළේ ඉතාමත් සූත්‍රවාදී ලෙස නව ලිබරල්වාදී ආර්ථික මූලධර්ම සහ වත් පිළිවෙත් ක්‍රියාවට නැගීම ය. 2020 වන විට ලෝක පරිමාණව පෙන්නුම් කළේ අධිරාජ්‍යවාදී ලෝක ක්‍රමයේ නව ලිබරල්වාදී අවධිය අවසන්ව ඇති බව ය. කෝවිඩ්-19 එය තව දුරටත් තහවුරු කළේ ය.

2. මේ අනුව යමින් ශ්‍රීලංකාවේ ධනේශ්වර පන්තිය ද 1978 ඇරඹුන නව ලිබරල්වාදී අවධිය එහි අවසන් දිසාවකට ගෙන යා යුතු යැ යි තීරණය කර ඇති බව 2021 අයවැය මගින් පෙන්වන්නේ ය. නව ලිබරල්වාදයේ අවසන හෝ නිමාව ධනේශ්වර නිෂ්පාදන මාදිලියේ නිමාවක් ලෙස වැරදි ලෙස තේරුම් නොගත යුතු ය.

3. 2021 අයවැය මගින් තැත්කර ඇත්තේ නව ලිබරල්වාදී මූලධර්මයනට වෙනස් ආකාරයකින් ශ්‍රීලංකාවේ ධනේශ්වර ක්‍රමය පවත්වා ගෙන යාමට ය. මෙම ප්‍රයත්නය ආංඩුව හඳුන්වන්නේ “ආනයන මත පදනම් නොවුන නිෂ්පාදන ආර්ථිකයක්” ගොඩ නැගීම ලෙස ය.

4. මෙය කරන්නට ආණ්ඩුව යෝජනා කරන්නේ කෙසේ ද? (1) බදු සහන දීම මගින් රටතුළ නිෂ්පාදනය වැඩිකිරීමට දේශීය සහ විදේශීය ධනේශ්වරය පෙළඹවීම; (2) කොටස් වෙළදපොළ ශක්තිමත් කිරීම හරහා ප්‍රාග්ධන සංචලනය සඳහා යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම; (3) ආනයන සීමා කිරීම හරහා දේශීය නිෂ්පාදනය සදහා දේශීය වෙළදපොළ වෙන්කරදිම; (4) දේශීය ව්‍යවසායකයනට ප්‍රාග්ධනය ලබාගැන්ම පහසු කෙරෙන සංවර්ධන බැංකුවක් පිහිටවීම; (5) එවන් වර්ධනයට ගැළපෙන ලෙස අධ්‍යාපනය සහ පුහුණුව ප්‍රතිසංවිධානය කොට වැඩිදියුණු කිරීම.

5. මෙම සමස්ත වෑයම ප්‍රාග්ධනයට වාසිවන ලෙස සකස්කර තිබීම පුදුමයක් නොවේ. වැඩකරන ජනතාවට මෙම අයවැයෙන් ලැබෙන්නේ පිච්චියක් පමණි. ඒවා ලැයිස්තුගත කිරීමට මම අදහස් නොකරමි. වතුකම්කරුවනට රුපියල් 1000 දෛනික වැටුප පොරොන්දු මාලාවකින් පසු ලැබීමට සෑහෙන ඉඩක් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *