2020 ස්වර්ණ පුස්තකේ දිනුව එරික්ට සම්මානයයි ත්‍යාගයයි තව ම දීලා නෑ! – ලේඛක සංවිධානයෙන් ග්‍රන්ථ ප්‍රකාශකයන්ගේ හිඟන වැඩේට විරෝධය…

October 13, 2020 at 4:17 pm | by emanisa.lk

2020 ස්වර්ණ පුස්තක සම්මානය එරික් ඉලයප්ආරච්චිගේ පේත නවකතාවට හිමි වූ බව ඔබ සැම දනී. එදින උත්සවයට සහභාගි වීමට අපොහොසත් වීම හේතුවෙන් මෙතෙක් එරික්ට එම සම්මානය හා ත්‍යාග මුදල පිරිනමා නැත.

එසේම ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ කිසිදු නිලධාරියකු ඒ පිළිබඳව කිසිදු දැනුම්දීමක්ද කර නැත. එරික්ට එම සම්මානය හා ත්‍යාගය හිමි වූ බව රටටම ප්‍රසිද්ධ කර තිබෙන පසුබිමක ඔහුට හිමි සම්මානය හා ත්‍යාගය පිරි නොනැනීම එරික්ට පමණක් නොව සමස්ත ⁣ලේඛකයන්ටම කළ අවමානයක් සේ අපි සලකමු.
එබැවින් එරික් ඉලයප්ආරච්චිට හිමි ත්‍යාගයත් සම්මානයත් වහාම ඔහුට ලබා දෙන ලෙස යෝජනා කරමින් මෙරට ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් 47කගේ අත්සනින් යුතුව පසුගිය ඔක්තෝබර් 05 වනදා ප්‍රකාශක සංගමය වෙත ලංකා ලේඛක සංවිධානය ලිපියක් යොමු කළේය.එම ලිපියට ප්‍රකාශකයන්ගේ සංගමය මෙතෙක් පිළිතුරක් එවා නැත.

එසේ වුව පුවත්පත් මගින් මේ පිළිබඳ කරන ලද විමසීම් වලදී එහි සභාපති උපාලි වනිගසූරිය මහතා ප්‍රකාශ කර තිබුණේ අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වී තීරණයක් ගන්නා තුරු එය ලබා දෙන දවසක් කිව නොහැකි බවය. සමහරු මේ ප්‍රශ්නයට අනවශ්‍ය විදිහට මැදිහත් වීම ඔවුන් අනුමත නොකරන බවද ඔහු තවදුරටත් කියා තිබිණ. මේ අනවශ්‍ය අය ලෙස ඔහු වක්‍රව කියන්නේ මෙරට ජ්‍යෙෂ්ඨ සාහිත්‍යධරයන්ට මිස අන් කිසිවකුටවත් නොවේ.

ලේඛකයගේ පොත් විකුණා ලක්ෂ ගණන් ලාබ උපයන ප්‍රකාශකයන් ලෙස කිසිදු ලජ්ජාවකින් තොරව කර ඇති එම ප්‍රකාශනය සමස්ත සාහිත්‍යකරුවන් වෙනුවෙන් පළමුකොටම අපේ දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. එසේ ම උත්සවයට සහභාගි වීමට නොහැකි වූ පමණින් එරික් ඉලයප්ආරච්චිට වේවා වෙනයම් ඕනාම ලේඛක ලේඛිකාවකට වේවා හිමි විය යුතු ත්‍යාගය හා සම්මානය කඩිනමින් ලබා දීම සංවිධායකයන්ගේ වගකීමකි.

රාජ්‍ය සාහිත්‍ය උත්සවය ඇතුළු ඕනාම උළෙලකදී අනුගමනය කරන සම්ප්‍රදාය එයයි. කවරකුගේ හෝ ප්‍රමාදදෝෂකින් මේ වරද සිදු විණි නම් එය නිවැරදි කරනු පිණිස සම්මානිත පේත කෘතිය ප්‍රකාශයට පත් කළ ගොඩගේ ආයතනය වෙත එය ලබා දිය හැකිව තිබිණ. (ඒ අවස්ථාවේ සිරිසුමන ගොඩගේ මහතාද වේදිකාවේ සිටි බව කියනු ලැබේ ) තම ආයතනයට ⁣මෙන්ම තමන් සමග ප්‍රකාශන කටයුතු කරන ජ්‍යෙෂ්ඨ ලේඛකයකුට සිදු වූ අවමානය සමහන් කරනු පිණිස ⁣මෙරට ප්‍රබල ප්‍රකාශන ව්‍යාපාරයක් වන ගොඩගේ ආයතනයට ද මීට වඩා මැදිහත් වීමක් කළ හැකිව තිබිණ.

කෙසේ වෙතත් පසුව පැවති රජත පුස්තක සම්මාන උළෙලේදී ස්වර්ණ පුස්තක සම්මානය හා ත්‍යාගය එරික්ට පිරිනමන බව පොත් ප්‍රකාශක සංගමයේ සභාපති උපාලි වනිගසූරිය මහතා දුරකථන ඇමතුමක් මගින් ප්‍රවීණ ලේඛක අනුරසිර හෙට්ටිගේ චෙත දන්වා තිබිණ. (අනුරසිරි ලංකා ලේඛක සංවිධනයේ ජාතික සංවිධායකද වෙයි) උපාලි මහතා එසේ වාචිකව එකඟ වී සිටි නමුත් එරික්ට එහිදී පිරිනැමුණේ කෙටිකතා ත්‍යාගය පමණි. (කෙටිකතා සඳහා වන රජත පුස්තක සම්මානය අනුරසිරිට හිමිව තිබූ අතර අවසන් වටයේ කෘති අතරට එක්වීම වෙනුවෙන් එරික්ටද ත්‍යාගයක් හිමිව තිබිණ)

මෙය ස්වර්ණ පුස්තක සංවිධායක මණ්ඩලය එරික්ට හා අනුරසිරිට මෙන්ම ගොඩගේ ආයතනයද ඇතුළු සමස්ත ලේඛකයන්ටම දෙවන වරටද අවමන් කිරීමකි. ඉන් අනතුරුව මේ වන තෙක් සංවිධායක මණ්ඩලය එරික්ට කිසිදු ඇමතුමක් කර නැත. මින් පැහැදිලි වන්නේ ලේඛකයන් යනු තමන් යටතේ සිටින ප්‍රවේනිදාසයන් පිරිසක් බව සමහර ප්‍රකාශකයන් විසින් සිතනු ලබන බවක් නොවේද..? මෙය පැහැදිලිවම වැඩවසම්වාදි මානසිකත්වයකි.

හිඟන්නන් මෙන් කර්තෘභාග ත්‍යාග මුදල් හා වෙනත් සහනාධාර අයදිමින් ලේඛකයන් තමන්ගේ දෙපා මුල වැඳවැටිය යුතු යයි ඇතැම් ප්‍රකාශකයෝ සිතා සිටිති. මෙවැනි මානසික ස්වභාවයන් වහාම පරාජය කළ යුතුය. එමතු ද නොව කිසිදු ලේඛකයකුට හෝ ලේඛිකාවකට අවමන් කිරීමටත් ඔවුන් සූරාකෑමටත් කිසිදු ප්‍රකාශකයකුට ඉඩ නොතැබිය යුතුය. එසේ කළ හැක්කේ සම්මාන පිපාසයෙන් හෝ වෙනත් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ප්‍රකාශකයන් හමුවේ දන නොනමන ලේඛක ප්‍රජාවකට පමණි. ඒ සඳහා කළ යුත්තේ පටු වාදභේද පසෙකලා ලේඛක ප්‍රජාව අත්වැල් බැඳ ගැනීම හා දියුණු පාඨක සමාජයක් ගොඩනගා එම පිරිසද ලේඛක ප්‍රජාව ඇසුරේ රඳවාගැනීමය.

ලොව සහෝදර ලේඛක සංවිධාන සමග සබඳතා ගොඩනගා ගනිමින් ප්‍රබල වෘත්තීය ලේඛක එකමුතුවක් ස්ථාපිත කිරීම අද දවසේ අවශ්‍යතාවක් බවද අමතක නොකළ යුතුය. ස්වර්ණ පුස්තක සම්මානය හරහා මතු වී ඇති මේ ගැටලුව ජාතික මට්ටමේ පුළුල් ලේඛක සහයෝගයක් ගොඩනගා ගැනීමට කදිම අවස්ථාවකි.
ලංකා ලේඛක සංවිධානය ඒ සඳහා සංවාදයක් ගොඩනගනු පිණිස මේ මොහොත උපයෝගි කරගැනීම සුදුසු යයි යෝජනා කර සිටී.

එහි පදනම සකසනු සඳහා ⁣2020 ස්වර්ණ පුස්තක අර්බුදය හමුවේ සක්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට පෙළ ගැසෙන ලෙස සමස්ත ලේඛක ප්‍රජාවට ඇරයුම් කරයි. එරික් ඉලයප්ආරච්චිට හිමි ත්‍යාග හා සම්මානය වහා පිරිනමන ලෙස යෝජනා කරමින් පසුගියදා අප දියත් කළ අත්සන් ව්‍යාපාරය තවත් පුළුල් කිරීමට අදහස් කරමු. ඒ සඳහා ලේඛක පාඨක සැමට එක් විය හැකිය.

ලංකා ලේඛක සංවිධානය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස