විනිසුරු බීඩිකොළ ජාවාරම්කරුට ඇප දුන්නේ ව්‍යවස්ථාදායක සභාව පළි ගනී යැයි බයට?

February 19, 2019 at 11:32 pm | by admin

රේගු ආඥා පනත අනුව මහේස්ත්‍රාත්වරයෙකුට ඇප ලබා දිය නොහැකි වුවත් විනිසුරුවරයා නීතියට පිටින් ගොස් ඇමති හිතවතෙකු වන බීඩිකොල ගම්මිරිස් ජාවාරම්කරුවකුට ඇප ලබා දුන්නේ තම අනාගත උසස් වීම් නොලැබී යා හැකිය යන බිය නිසා දැයි සිතෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල පවසයි.

එම පක්ෂ මූලස්ථානයේ දී හෙතෙම වැඩි දුරටත් මෙසේ පැවසීය.

නීතිපති, පොලිස්පති, විගණකාධිපති වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ද පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන්. ව්‍යවස්ථාදායක සභාව පක්ෂග්‍රාහිව දේශපාලනික අරමුණු සහිතව කටයුතු කරන බවට ප්‍රබල චෝදනාවක් තිබෙනවා. මේ චෝදනාව කරන අය අතරේ ජනාධිපති සහ විපක්ෂ නායක ද සිටීම විශේෂයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41උ(3) වගන්තිය අනුව ව්‍යවස්ථාදායක සභාව තමන් උසස්වීම් ලබා දෙන ආකාරය පිළිබඳ රීති සකසා ගැසට් මගින් ප්‍රසිද්ධ කළ යුතුයි. ඒ වගේම මාස තුනක් ඇතුලත ඒ රීති පාරලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ව්‍යවස්ථාදායක සභාව ඒ දේ නොකළ නිසා ජේෂ්ඨත්වය නොසලකා දේශපාලන අරමුණු වෙනුවෙන් පත්වීම් ලබා දෙන බවට වූ ප්‍රබල චෝදනාවක් තිබෙනවා.

ආණ්ඩුවට පක්ෂපාති නැති විනිසුරුවරුන්ට උසස්වීම් ලබා නොදෙන බවට විශ්වාසයක් තිබෙන විට විනිසුරුවරුන් ස්වාධීනව කටයුතු කරන්නේ කොහොම‍ද? පසුගිය සිකුරාදා රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් ඇමතිවරයෙකුගේ මිත්‍රයෙකුට මහෙස්ත්‍රාත් ඇප දුන්නා. මොහු දීර්ඝ කාලයක් පැවතුණු ගම්මිරිස් ජාවාරම බීඩිකොළ ජාවාරම හා සම්බන්ධ පුද්ගලයෙක්. රේගු ආඥාපණත අනුව මහේස්ත්‍රාත් වරයෙකුට ඔහුට ඇප ලබා දෙන්න බෑ. නමුත් ඒ වරදට මහාධිකරණයට පවා ඇප ලබා දෙන්න පුළුවන් සුවිශේෂි හේතු ඇත්නම් විතරයි. මහෙස්ත්‍රාත් මේක දන්නේ නැද්ද? නැතිනම් මේ දේශපාලනික පුද්ගලයාට ඇප ලබා නොදුන්නොත් තමන්ගේ අනාගත උසස්වීම්වලට බලපාවි කියා සිතුවා ද? ව්‍යවස්ථාදායක සභාවේ හැසිරීම අනුව එහෙම හිතුවත් වරදක් නෑ.

ඉහත තත්වය මත ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ එක් දින කල් තැබීමේ විවාදයක් ඉල්ලා 2019 ජනවාරි 23 දින මම කතානායකතුමාට යෝජනාවක් භාර දුන්නා. ඒ යෝජනාව 21 වන බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට නියමිතයි. ඒ විවාදයේ සුවිශේෂත්වය වන්නේ ව්‍යවස්ථාදායක සභාවේ නිරදේශ ක්‍රියාත්මක කරන ජනාධිපතිතුමාත් එම සභාවේ සාමාජිකයෙකු වන විපක්ෂ නායකතුමාත් ව්‍යවස්ථාදායක සභාව පතුරු ගසමින් කතා කිරීමට නියමිතයි. මම දැන් ඒ යෝජනාව ඔබට කියවන්නම්.

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේ දී ව්‍යවස්ථාදායක සභාව විසින් ජේෂ්ඨත්වය නොසලකා පක්ෂග්‍රාහිව කටයුතු කර ඇති බවට අතිගරු ජනාධිපතිතුමා විසින් ද පාරලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් ද චෝදනා නගා ඇති බැවින් ද නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා පත් කළ ආකාරය පිළිබඳ සමාජයේ ප්‍රබල විවේචනයක් ඇති බැවින් ද ව්‍යවස්ථාදායක සභාව විසින් ඉහළ තනතුරු වලට පත් කිරීමේ නිරණායක ප්‍රසිද්ධ කර නොමැති බැවින් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41උ(3) වගන්තිය ප්‍රකාරව එකී ව්‍යවස්ථාදායක සභාව විසින් රීති සකසා ගැසට් මගින් ප්‍රසිද්ධ කර පාරලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට මෙම පාරලිමේන්තුව යෝජනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස