13 වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කොට පළාත් සභා ශක්තිමත් කිරීම වැදගත්..! – ඉන්දීය විදේශ ඇමැති…

January 20, 2023 at 7:50 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සඳහා මාර්ගය පැහැදිලි කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මූල්‍ය සහතිකය ලබා දුන් බව ඉන්දියාව පවසයි.

දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් අද (20) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළේ ය.

එහි දී ඔහු ප්‍රකාශ කළේ, අන් අය තීරණයක් ගන්නා තුරු බලා නොසිට තමන් නිවැරදි යැයි විශ්වාස කරන දේ කිරීමට ඉන්දියාව තීරණය කළ බව ය.

සිය අපේක්ෂාව, ශ්‍රී ලංකාවේ තත්ත්වය ශක්තිමත් කිරීම පමණක් නොව සියලු ම ද්විපාර්ශ්වික ණය හිමියන් සමග සමානව කටයුතු කිරීම සහතික කිරීම බව ද ඔහු එහි දී පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ ණය හිමියන් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමට පහසුකම් සැලසීමට ක්‍රියාශීලී පියවර ගත යුතු බව ඉන්දියාවේ දැඩි විශ්වාසය බව ය.

තිරිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස ඉස්මතු කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇති බව ද ඔහු සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවට සහය දක්වමින් එවැනි මුලපිරීම්වල විශ්වාසනීය හවුල්කරුවෙකු වීමට ඉන්දියාව සූදානම් බව ය.

සහයෝගිතාව ඉදිරියට ගෙන යමින් පුනර්ජනනීය බලශක්ති රාමුවක් පිළිබඳ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට පැමිණීමට ද කැමැත්ත පළ කළ බව ද ඔහු එහිදී පැවසීය.

දේශපාලන බලය බෙදීම සහ ඒ පිළිබඳව මතය පිළිබඳව ජනාධිපතිවරයා තමන්ව දැනුවත් කළ බව ආචාර්ය එස්. ජයිශංකර් සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ පළාත් ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම මේ සම්බන්ධයෙන් තීරණාත්මක බව තමන් ඔහු සමග පැවසූ බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *