13 ඕන නැත්නම් අයින් කරන්න…! නැත්නම් මම බලාත්මක කරනවා…! – ජනපති…

January 27, 2023 at 6:33 pm | by emanisa.lk

13 වන සංශෝදනය බලාත්මක කළ යුතු නැත්නම් එය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේ ඊයේ (26) පැවැති සර්ව පාක්ෂික හමුව අමතමිනි.

“විධායකය ලෙස මට පැවරී තිබෙන්නේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමයි. 13 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වසර 37ක පමණ කාලයක සිට තිබෙනවා. මම එය ක්‍රියාත්මක කළ යුතුයි. මම එය ක්‍රියාත්මක නොකරන්න නම් කවුරුන් හෝ 22 වෙනි සංශෝධනයක් ගෙනවිත් 13 වෙනි සංශෝධනය අහෝසි කළ යුතුයි. එසේ නොමැති නම් 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි.”

“13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන්නෙත් නෑ, අහෝසි කරන්නෙත් නෑ කියලා අපට මැදක සිටිය නොහැකියි. ඕනෑම අයෙකුට හැකියාව තිබෙනවා පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනැවිත් 13 වෙනි සංශෝධනය අහෝසි කරන්න කියලා ඉදිරිපත් කරන්න. ඊට බහුතරයක් අකමැති වුණොත් මොකද කරන්නේ. එවිට 13වන සංශෝධනය ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා.”

“මම කටයුතු කරන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විනිශ්චයකාර මණ්ඩලය ලබා දී ඇති තීන්දුව අනුවයි. විශේෂයෙන් පාලින්ද රණසිංහ අග්‍රවිනිශ්චයකාරතුමාගේ තීන්දුව. එතනට සීමා වුවහොත් ඇත්ත වශයෙන්ම අපි ඒකීය රාජ්‍යයකයි ඉන්නේ. මම ෆෙඩරල් රාජ්‍යයකට විරුද්ධයි. නමුත් බලතල බෙදා දීමට එකඟයි. දැන් අප පිහිටුවාගෙන තිබෙන පළාත් සභාවට ලන්ඩන් නගර සභාවට තිබෙන බලතලවත් නෑ. ලන්ඩන් නගර සභාවට මීට වඩා බලතල තිබෙනවා. එහෙම නම් මෙය ෆෙඩරල් රාජ්‍යයක් කියා කෙසේවත් කිව නොහැකියි.”

“මෙය ෆෙඩරල් රාජ්‍යයක් නොකරන්න ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා, නීතිඥවරු එක්ව බොහෝ දේ සිදු කළා. ‍ මෙතෙක් සිටි හැම ජනාධිපතිවරයෙක්ම 13වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. තවදුරටත් එය ක්‍රියාත්මක නොකරනවා නම් අප එය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *