13 සම්පූර්ණයෙන් බලාත්මක කර බලය බෙදනු…! ඒකීය රාජ්‍යය වෙනුවට එක්සත් ලංකාවක් හදනු…! – ඉන්දියාව…

September 14, 2022 at 10:03 am | by emanisa.lk

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම, පළාත් සභාවලට බලතල පැවරීම සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉන්දියාව ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉන්දීය නියෝජිත ඉන්ද්‍රා මනිපාන්ඩේ ප්‍රකාශ කරයි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය පසුගිය 12 වැනිදා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය. එහිදී ඉන්දියාව වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කළ ඉන්ද්‍රා මනි පාන්ඩේ මේ බව අවධාරණය කළේය.

“ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියාව පිළිබඳ ඉන්දියාවේ ස්ථීර දැක්ම වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට යුක්තිය, සාමය, සමානාත්මතාව සහ අභිමානය සහතික කරන එක්සත් ශ්‍රී ලංකාවක රාමුව තුළ දේශපාලන විසඳුමක්” යැයි ද හෙතෙම පැවසීය.

කඩිනමින් මැතිවරණ පවත්වා පළාත් සභා ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට සෞභාග්‍යමත් අනාගතයක් සඳහා වූ මහජන අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට හැකි වන බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

මේ අතර මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බව චීනය, රුසියාව, ඉරානය, පාකිස්තානය හා උතුරු කොරියාව ප්‍රකාශ කර තිබේ.

51 වැනි මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් චීනය පෙනී සිටින බව චීන තානාපති චෙන් ෂු ප්‍රකාශ කර තිබේ. එසේම රුසියානු, ඉරාන හා සිරියානු තානාපතිවරුන් ද ලංකාවේ ස්ථාවරය සමග එක්වෙමින් අදහස් දක්වා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *