හොරපාරේ වෛද්‍යවරුන්ගේ ඥාතීන්ට එන්නත් ලබා දීම වහා ම නවතනු…! ජනතාව සමඟ වැඩ කරන වෘත්තිකයින්ට පළමුව එන්නත දෙනු….! නැත්නම් හෙට උදේ සිට වැඩ වර්ජනයක් අරඹනවා…! – PHI සංගමය….

May 24, 2021 at 6:18 pm | by emanisa.lk

වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් 05 දෙනෙකු සඳහා බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 20ක දී කොවිඩ් එන්නත් ලබා දීමට තීන්දුවක් ගෙන ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරයි.

කොවිඩ් රෝගීන් සමග කටයුතු කරන වෛද්‍යවරුන් පමණක් නොව හෙද සේවය, පරිපූරක වෛද්‍ය සේවය, අතුරු වෛද්‍ය සේවය කණිෂ්ට කාර්ය මණ්ඩලය ඇතුළු අනෙකුත් සියලු කාර්යාල මණ්ඩල මේ අවස්ථාවේ අවදානමට ලක්ව ඇතැයි එහි සභාපති උපුල් රෝහණ පෙන්වා දෙයි.

සියලු සෞඛ්‍ය සේවකයින්ගේ දෙමාපියන් සහ පවුලේ අය ආරක්ෂා කරගැනීම වැදගත් වුව ද මේ අවස්ථාව වන විටත් ජනතාව සමඟ ඍජුව කටයුතු කරන දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රවාහන කටයුතුවල නිරත රාජ්‍ය සහ පෞද්ගලික කාර්ය මණ්ඩල, ක්ෂේත්‍ර රාජකාරී කරන ග්‍රාම නිලධාරීන්, ජනමාධ්‍යවේදීන් සඳහා පවා මෙතෙක් එන්නත් ලබා දී නොමැති බව ඔහු සඳහන් කරයි.

එවැනි පසුබිමක වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ පවුල්වල අය පමණක් රැකීමට ගත් තීන්දුව පිළිබඳ තම බලවත් අප්‍රසාදය ප්‍රකාශ කරන බව ද උපුල් රෝහණ අවධාරණය කරයි. මේ පිළිබඳ සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළ බවත් ඉදිරි පැය 12 ඇතුළත පෙර සඳහන් කළ සේවාවල නිරත කණ්ඩායම් සහ ඔවුන්ගේ පවුල්වල අය සඳහා ද එන්නත් ලබා දෙන නිශ්චිත වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් නොකළහොත් හෙට උදෑසන 7.30 පටන් සියලු කොවිඩ් මර්දන රාජකාරීවලින් තමන් ඉවත් වන බවට ඔහු අනතුරු අඟවයි.

ජනතාව සමඟ ඍජුව කටයුතු කරන සේවාවල පිරිස් සඳහා පළමුව එන්නත් ලබා දීම සිදුකළ යුතු බවත් සෞඛ්‍ය සේවයේ නිරත අයගේ ඥාතීන්ට එන්නත් ලබා දිය යුත්තේ ඉන් අනතුරුව බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *