හෙල්මටයක් නැති වුණැයි දුම්රිය වර්ජනයක්… දෙස් විදෙස් මගීන් දහස් ගණනක් මහමග…!

September 19, 2024 at 9:05 am | by emanisa.lk

දුම්රිය නියාමකවරයකුගේ යතුරුපැදි හිස් වැසුමක් සහ වැසි කබායක් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අනුරාධපුරයේ දුම්රිය නියාමකවරුන් ඊයේ (18) අලුයම සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබිණි.

මෙම වැඩවර්ජනය හේතුවෙන්, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය රැසක් ධාවනය නොවූ නිසා විදෙස් සංචාරකයන්, විශ්වවිද්‍යාල සිසුන්, ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු මගීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටියහ.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ අලුයම 5.00ට අනුරාධපුර සිට මැදවච්චිය දක්වාත්, මැදවච්චිය සිට අනුරාධපුර දක්වාත් ධාවනය වීමට නියමිතව තිබූ රේල් බස්රථය ධාවනය නොවූ අතර, උදෑසන 8.20 ට අනුරාධපුර සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වීමට නියමිතව තිබූ අංක 4441 අංක දරන දුම්රිය ද ධාවනය නොවූ බව දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය.

කාලයක සිට දුම්රිය නියාමකවරුන්ගේ යතුරුපැදි, අනුරාධපුර දුම්රිය වේදිකාවේ නතර කර දමා ඔවුන් සේවයට වාර්තා කර තිබුණි. ඉහළින් ලැබුණු නියෝගයකට අනුව මෑතක සිට එම යතුරුපැදි, දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති දුම්රිය කාර්ය මණ්ඩල සඳහා ඉදිකර ඇති යතුරුපැදි ගාලේ නවතනු ලබයි. ඉකුත් 17 වැනිදා දුම්රිය නියාමකවරයකුගේ යතුරුපැදි හිස් වැසුමක් සහ වැසි කබායක් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් වැඩ වර්ජනය ආරම්භ කරන බව එම පිරිස් පවසති.

මේ සම්බන්ධව කළ විමසීමකදී දුම්රිය ප්‍රකාශකයකු පැවසුවේ, එම යතුරුපැදි දුම්රිය වේදිකාවේ නතර කර තැබීම හේතුවෙන්, මගීන්ට සහ දුම්රියෙන් රැගෙන එන පාර්සල්, බිමට බෑමේදී සහ දුම්රියට පැටවීමේදී දැඩි බාධාවක් සිදු වන බවය.

අදාළ හෙල්මටය නැතිවූ යතුරුපැදි ගලේ ආරක්‍ෂාවට ආරක්‍ෂක නිලධාරීන් යෙදවීමට පියවර ගැනීමත් සමගම වැඩවර්ජනය අවසන් කෙරිණි. පසුව ඊයේ පස්වරු 2.30 සිට දුම්රිය ධාවනය ආරම්භ කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොළගේ මහතා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *