හෙට සංචරණ සීමා ලිහිල් කරන්න එපා…! 28 වෙනිදා තෙක් දිගට ම වහන්න…! – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනපතිගෙන් ඉල්ලයි…

June 20, 2021 at 3:04 pm | by emanisa.lk

හෙට (21) දිනයේ සංචරණ සීමා ඉවත් නොකර තව දුරටත් අඛණ්ඩව පවත්වා ගෙන යන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දී ඇත්තේ දින කිහිපයකට හෝ සංචරණ සීමා ඉවත් කිරීමෙන් අප්‍රේල් මාසයේ පැවැති දරුණු තත්ත්වයට රට යළි ගමන් කිරීමේ අවදානමක් නිර්මාණය වනු ඇති බවය.

පවතින තත්ත්වය හමුවේ සංචරණ සීමා ලබන 28 වෙනි දින දක්වා හෝ දීර්ඝ කරන ලෙස සිය සංගමය මීට පෙර ඉල්ලීමක් කර තිබූ අතර ලබන 21 වනදා සිට 23 වනදා දක්වා දින කිහිපයක් සංචරණ සීමා ඉවත් කර යළි පැනවීමේ පදනම කුමක් ද යන්න පැහැදිලි නොවන බව ද ඔවුන් පවසයි.

සංචරණ සීමා ක්‍රියාත්මක වර්තමානයේ ද දෛනිකව නව ආසාදිතයින් 2,000 ඉක්මවූ සංඛ්‍යාවක් සහ මරණ 50 ඉක්මවා වාර්තා වන බවත් ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ද මෙරට සමාජයෙන් හමුවීමෙන් පවතින අවදානම තවදුරටත් ඉහළ යන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් මෙම තීරණාත්මක මොහොතේ සංචරණ සීමා ඉවත් කිරීමකින් තොරව තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස