හරීන්ට ජීවිත හානියක් වුණොත් රාජපක්ෂලා අතුගා දමනවා…! පාඨලී….

January 11, 2021 at 8:52 am | by emanisa.lk

“තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන හරීන් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකල කතාවක් අරබයා පැසුණු බුද්ධියක් සහිත දේශපාලකයෙකු විසින් නොකල යුතු ආකාරයේ ළදරු විවේචනයක් ජනාධිපතිවරයා විසින් සිදුකර තිබේ. ත්‍රස්තවාදියෙකු ඝාතනය කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලකයෙකු සිදුකල විවේචනය සංසන්දනය කරමින් ශිෂ්ට සමාජයට නොගැලපෙන ආකාරයේ තර්ජනාත්මක කතාවක් රටේ ජනාධිපතිවරයා විසින් සිදුකිරීම අප තරයේ හෙළා දැකිය යුතුය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයට පත්වීමෙන් පසුව ගතවූ මාස 13 ක කාලය තුලදී ඔහුගේ පාලනයට අභියෝගයක් වනු ඇතැයි විශ්වාස කළ දේශපාලන නායකයින්ට එරෙහිව පොලීසිය සහ නීතිපති දෙපාර්තුමේන්තුව මෙහෙයවමින් දැවැන්ත මර්දනයක් දියත් කරන ලද අතර ආණ්ඩුවට සමීප ජඩ මාධ්‍ය කල්ලි හරහා ව්‍යාජ, ද්වේශසහගත පුවත් මවමින් අශිෂ්ට ලෙස ක්‍රියා කරන ලදි. එසේම ජනාධිපතිවරයාට හිතවත් පර්ශවයන් නඩුවලින් නිදොස් කොට නිදහස් කිරීම සදහා නිර්ලජ්ජිත ලෙස ක්‍රියා කල ආකාරයද මුළු රට ඉදිරියේම හෙළිදරව් වී ඇත. 20 වන සංශෝධනය මගින් අධිකරණයට සහ පොලීසියට තිබූ ස්වාධීනත්වයද සම්පූර්ණයෙන්ම අහෝසිකර ඇති අතර ජනාධිපතිවරයා ක්‍රමිකව සිය දේශපාලන විරුද්ධවාදීන් රාජ්‍ය මර්දනයකට ලක්කිරීමේ ඒකාධිපති ව්‍යාධියෙන් ආතුර වී තිබේ.

පසුගිය සමයේ කොරෝනා වසංගතයෙන් සිදුකල ජාවාරම් සහ කූප්‍රකට සීය හිතමිතුරු ව්‍යාපාරික කල්ලිය හරහා ඇන්ටිජන් කට්ටලවලින්, නිරෝධායනයෙන්, සීනිවලින් සහ නානාප්‍රකාර විධිවලින් මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් වංචා කරමින් තිබෙන බව රට හමුවේ හෙළිදරව් වීම නිසා ජනාධිපතිවරයාගේ වියරුව තව තවත් උත්සන්න වෙමින් තිබේ.

නයි දිෂ්ටි, මුට්ටි නැටුම් නටමින් මේ රටේ බහුතර ජනතාව රැවටීමට ලක්කල ආකාරය අදවන විට බුද්ධිමත්, ධර්මය දන්නා ජනතාව තේරුම් ගනිමින් සිටියි.

මේ ඒකාධිපති මනෝභාවයේ ගොදුරු බවට අද විපක්ෂයේ මන්ත්‍රීවරු ලක්වනවා සේම, නුදුරේදීම ආණ්ඩුවේම දේශපාලන නායකයින්ද ඒ වියරුවේ ගොදුරු බවට පත්වනු බව නොඅනුමානය.

එමනිසා මේ ඒකාධිපති වියරුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලු දේශපාලන බලවේග එක්විය යුතුව තිබේ. අප හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් එල්ල කරන ලද චෝදනාවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ සහචරයන් විසින් දේශපාලනිකව පිළිතුරු ලබාදෙනු වෙනුවට, ඔහුට හෝ ඔහුගේ දරුවන්ගේ ජීවිතවලට හානිවන ආකාරයේ කවර හෝ ක්‍රියාවක නියැලුණහොත්, එය රාජපක්ෂ දේශපාලනය අඳුරු අවසානයක් කරා ගෙනයනු ඇති බව මතක් කර දීමට කැමැත්තෙමි.”

– පාඨලී චම්පික රණවක

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස