හයිවේ එක විවෘත කළ දවසේ ජනපති අගමැතිට අතවැනුවේ රජකාලේ බලු ගැත්තෝ…!

January 19, 2022 at 12:31 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ තරුණ සංගමයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි තැබූ සටහනකි.

කුරුණෑගල අධිවේගී මාර්ගය විවෘත කරපු වෙලාවේ ජනාධිපති, අගමැති සහ මැති ඇමතිවරුන් අති සුඛෝපභෝගි වාහනවලින් පෙරහැරේ යන හැටිත් පාර අයිනට එන සාමාන්‍ය මිනිසුන් ඔවුන්ට අත වනන හැටිත් දැක්වෙන පින්තූරය ලංකාවේ ‘ජාතික ඡායාරූපය’ ලෙස නම් කළ යුතුයි. ලංකාවේ දේශපාලනය සහ ජන විඥානය ගැන පොත් දාහකින් කියලා ඉවර කරන්න බැරි කතාවක් ඒ ඡායාරූපය ඇතුළේ තියෙනවා.

ඒ පින්තූරය ගන්නේ ලංකාවේ ඉන්ධන අර්බුදයක් උත්සන්න වෙමින් තියෙන වෙලාවක. බලශක්ති අමාත්‍ය ගම්මන්පිල නිල වශයෙන් ම පුවත්පතකට කියලා තිබුණා දැනට රටේ ඉන්ධන තියෙන්නේ තවත් දින 20කට විතරයි කියල. ඊළඟ මාසයට ඉන්ධන ගෙන්වන්න ඩොලර් හොයාගන්න විදිහ තමන්ට තවම හිතාගන්න බැහැ කියලත් ඔහු පිළිඅරන් තිබුණා.

ඉන්ධන ප්‍රශ්නය නිසා මේ වෙනකොටත් විදුලි අර්බුදයක් ඇති වෙලා තියෙනවා. විදුලිය නිපදවීමට තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට ඩීසල් නිකුත් කරන්නේ නැහැ. ඒ නිසා රට පුරා ම දිනපතා ම වගේ විදුලිය කැපීම් වාර්තා වෙනවා. මේ ප්‍රශ්නය නොවිසඳුණොත් මේ විදුලිය කැපීම් තවත් දීර්ඝ වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.

රට මේ වෙනකොට නිල වශයෙන් ම හිඟමනට වැටිලා තියෙනවා. රටේ තිබුණු රත්තරන් සංචිතවලින් හරියට ම භාගයක් ගිය මාසය තුළ විකුණලා මුදල් හොයාගෙන තිබුණා. චීනයේ සහ ඉන්දියාවේ පිහිටෙන් මේ මාසය යාන්තම් ගත කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. කටාර් රාජ්‍යයෙන්, ඕමානයෙන් විතරක් නෙවෙයි නයිජීරියාවෙන් සහ බංගලිදේශයෙන් පවා සිඟමන් ඉල්ලන තත්ත්වයට ලංකාව දැන් පත්වෙලා තියෙනවා.

කාබනික පොහොර නාඩගම නිසා රටේ ආහාර නිෂ්පාදනය සියයට 40කින් පමණ පහළ ගිහින් තියනවා කියලා විශේෂඥයන් කියනවා. ඒ නිසා මේ වන විට ඉතිහාසයේ කවදාවත් නොතිබූ තරමට ආහාර මිල ඉහළ ගිහින් තියෙනවා. මාර්තු – අප්‍රේල් වන විට මේ ආහාර අර්බුදය තවත් උග්‍ර වෙලා ආහාර හිඟයක් එන්න පුළුවන් කියලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ම කිව්වා. ආහාර හිඟය ගැන කතා කරපු කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා විතරක් නෙවෙයි, ආණ්ඩුවේ ම ඇමතිවරයෙකුත් එක පෑන් පහරින් ගෙදර යැව්වා.

මිනිස්සු ගෑස් ගන්න වරු ගණන් පෝලිමේ ඉන්නවා. එහෙම පෝලිමේ ඉඳලා ගෙනියන ගෑස් ගෙදර ගෙන ගියාම පුපුරනවා. මේ ගෑස් සංයුතිය වෙනස් කරලා මිනිසුන්ගේ ජීවිත සහ දේපල හානි කරපු කිසිම කෙනෙකුට තවම දඬුවමක් නැහැ. මේ අවුල ඇති කරපු උන් හිනාවෙවී ඒ තනතුරුවල ම ඉන්නවා. මහජන මුදලින් පඩිගන්නවා. රටේ මිනිසුන්ට අතේ පැළවෙන බොරු කියනවා.
මේ සේරම ප්‍රශ්න මැද්දේ පිටරටින් එන අසූචි පොහොර නැව්වලට ඩොලර් මිලියන 6.9ක් වන්දිත් ගෙවනවා. පාස්පෝට් කන්තෝරුව ගාව මිනිස්සු දිනපතා ම දහස් ගණනින් පෝලිම් හැදිලා රටෙන් යන්න ක්‍රමයක් හොයනවා. අනෙක් අය ‘රොබින්සන් අන්දරය’ කතාවේ වගේ විදුලිය නැතුව, ඉන්ධන නැතුව, කන්න බොන්න නැතුව දූපතක් ඇතුළේ හිරවෙලා ඉන්නවා.

ලංකාව නිදහසෙන් පස්සේ වැටිලා තියෙන නරක ම අර්බුදයට මේ වෙනකොට වැටිලා ඉවරයි. මේ හැම දෙයක් ම වෙන්නේ සමහර රටවල් පසුගිය අවුරුදු දෙක තුළ ක්‍රමයෙන් තමන්ගේ විදේශ සංචිත වැඩි කරගත් තත්ත්වයක් ඇතුළෙයි. ඒ රටවල් ක්‍රමයෙන් තමන්ගේ ඔළුව උස්සන කොට ලංකාව ටිකෙන් ටික අගාධයක පතුළට ම ගියා.

ලංකාවේ තියෙන ප්‍රශ්නවලට අවුරුදු 73ක් තිස්සේ රට පාලනය කරපු හැම පක්ෂයක් ම, ජාතික ධනය සොරාකාපු හැම පක්ෂයක් ම, කැරලි ගහලා ජාතික ධනය විනාශ කරපු හැම පක්ෂයක් ම වගකිව යුතුයි. ඒත් ඒ හැම ප්‍රශ්නයක් ම මේ තරම් විශාල අර්බුදයක් කරා උත්සන්න වුණේ දැනට සිටින මෝඩ, අසමත් සහ අකාර්‍යක්ෂම පාලකයන් නිසයි. ඒ වගකීමෙන් ඔවුන්ට කොහොමටවත් පලා යන්න බැහැ.

මෙතැන තියෙන ලස්සන ම දේ මේකයි. පාලකයන් විසින් නිර්මාණය කරපු මේ මහා ගිනි කන්දට මැදිවෙලා, ඒ උගුලේ සිරවෙලා, දිනපතා බැට කන රටේ මිනිස්සු ම ඒ පාලකයන් රේන්ජ් රෝවර්වලින් උජාරුවෙන් රිය පෙරහැරේ යන කොට පාර අයිනට ඇවිත් හිනාවෙවී අත වනලා ආචාර කරනවා. රජ කාලයේ රජවරුන් වීදි සංචාරය කරන කොට බලුගැත්තන් හැසිරෙන විදියට ම හැසිරෙනවා. පාලකයන් එහෙම ආඩම්බරයෙන් යන අති සුඛෝපභෝගි වාහනවලට පවා ගෙවන්නේ දාහක් අමාරුකම් මැද තමන් කන පරිප්පු ඇටයේ සිට බදු ගෙවන මේ මිනිසුන්මයි.

මේ විදියට ගිනි කන්දක් මැද හිරවෙලා ගිනි කන්ද නිර්මාණය කරපු අයට ම අත වනන, ආචාර කරන, බලුගැත්තන් වගේ හැසිරෙන හැම මනුස්සයෙකුට ම ඡන්ද බලය තියෙනවා. ඔවුනුත් ඡන්ද පොළට යනවා. පාලකයන් තෝරනවා. රටේ අනාගතය ගැන තීරණ ගන්නවා. ඒ ගන්නා තීරණ රටේ ඉන්න අනෙක් සියලු ම දෙනා කෙරෙහි බලපෑමක් ඇති කරනවා. මම දවසකුත් කිව්වා වගේ ලංකාව මුහුදේ ගිලා බහින්නේ නැතිව මේ මට්ටමට හරි ඉතුරු වෙලා තියෙන එක ගැන මට වෙලාවකට පුදුමයි.

රසික ජයකොඩි
17-01-2022

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස