හමුදාව කළ යුද අපරාධ අමතක කරන්න අපි සූදානම් නෑ! ජාත්‍යන්තර යාන්ත්‍රණයක් මගින් දඬුවම් කළ යුතුමයි!

February 22, 2019 at 7:13 pm | by admin

ආරක්ෂක හමුදාව හා කොටි සංවිධානය යන දෙපාර්ශ්වයම යුද අපරාධ සිදු කර ඇති බව කියමින් අතීතය අමතක කර සාමදානයෙන් මෙම ගැටලුව විසඳා ගැනීමේ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මහතා මෙසේද කීය.

“අවසන් යුද්ධයේදී මෙරට තුළ යුද අපරාධ වූ බව අගතියට පත්වූවන් අතරින් කරන ලද විමර්ශනවලින් තහවුරු වී තිබෙනවා. ශ්‍රීලංකාවට පැමිණී විදේශීය රාජ්‍ය නායකයින්ට සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ටද පීඩාවට පත්වූ ජනතාව මේ බව සැලකර තිබෙනවා. මෙනිසා යුද අපරාධ දෙපාර්ශ්වයම සිදුකලා කියලා දෙපාර්ශ්වයම අවබෝධ කරගෙන සිටිනවා කියලා මේ චෝදනාවලින් මිදී යන්න බෑ.

එක් රටක යුද්ධයක් පවතින්නේ නම් යුද මූලධර්මයන් න්‍යායන් අනුගමනය කළයුතුයි. ඒ වගේම ඒ රටේ සාමාන්‍ය සිවිල් ජනතාව සුරක්ෂා කළ යුතුයි. මේ සියල්ල විසිකර දමලා ශ්‍රීලංකා හමුදාව යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් අවසන් යුද වකවානුවේදී සිදුකලා. දහස් ගණනක සාමාන්‍ය ජනතාවක් මේවාට ගොදුරු වුණා. දහස් ගණනක පිරිසක් අතුරුදහන් කළා. මෙවන් තත්වයක් තිබියෙදී තමයි යුද අපරාධ සිදුවුණ බව පිළිගෙන අගමැති රනිල් වික්‍රමසිංහ සිදුවූ දෑ අමතක කරමු සමාදානයෙන් මෙම ප්‍රශ්නය විසඳගමු කියල ප්‍රකාශ කළේ.

ආරක්ෂක හමුදාව අතින් යුද අපරාධ සිදුවුණා කියල අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම අගය කළයුතුයි. එහෙත් ඔහුගේ අමතක කරමු සමාදාන වෙමු කියන ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරනවා.ඊට කිසිවිටක ඉඩ තබන්නෙ නැහැ. ජාත්‍යන්තරයත් ඊට කිසිවිටක ඉඩ දෙන්නේ නෑ. ආරක්ෂක හමුදාව විසින් කළ යුද අපරාධවලින් පීඩාවට පත්වූවන් තවමත් උතුරේ ජීවත් වෙනවා.අගතියට පත්වූවන්ටත් ඝාතනයට ලක්වූවන්ටත් අතුරුදහන් කරනු ලැබූවන්ටත් යුක්තිය ඉටුවිය යුතුයි. ජාත්‍යන්තර යාන්ත්‍රණයක් මගින් සත්‍ය සොයාගත යුතුයි. අපරාධකරුවන්ට දඬුවම් ලබාදිය යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *