හම්බන්තොට මහ රෝහලේ සිටි එක ම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා හොර රහසේම විදෙස් ගත වි ඇතැයි හම්බන්තොට මහ රෝහලෙ වෛද්‍යවරු කියති.
දින කිහිපයකට කෙටි නිවාඩුවක් ලබා ගන්නා බව කියමින් රෝහලෙන් පිටව ගොස් මෙම වෛද්‍යවරයා අද (12) උදෑසන එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුට දුරකථන කෙටි පණිවිඩ මගින් තමන් එංගලන්තයට ගිය බව දැනුම් දී ඇත.
දැඩි සත්කාර දෙකක ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් හා සඳුදා දින සිට විවිධ සැත්කම් කිරීමට පොරොත්තු ලේඛන සකස් කර ඇති අතර එම සැත්කම් කිරීමට නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු අනිවාර්ය වෙයි.
මේ පිළිබඳ හම්බන්තොට මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුරංග උබේසේකර මෙසේ කීය.
“මහ රෝහලේ සිටි එකම නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරයා දින කිහිපයක නිවාඩුවක් ලබාගෙන තියෙනවා. එම විශේෂඥ වෛද්‍යවරයා විදෙස් ගත වී ඇති බව රෝහලේ දි ආරංචි වුණා.
එසේ නොමැතිව නිත්‍යානුකූලව විදෙස් ගතවීමක් ගැන ලිඛිතව මට දැනුම් දි නැහැ. නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු හදිසියේ රෝහලකට සොයා ගන්නේ කෙසේද යන්න මම බරපතල ගැටළුවකට මුහුණ පා සිටිනවා.”