සේනා දළඹු උවදුර පාලනය කිරීම සඳහා දළඹුවා ආහාරයට ගන්නා කුරුල්ලන්ව යොදා ගැනීම, අළු වර්ග භාවිත කිරීම, දේශීය වශයෙන් ශාක යුෂ, කොහොඹ නිස්සාරණය යොදා ගැනීම වැනි විවිධ ක්‍රම සොයාගෙන තියෙනවා. මේ සියලු ක්‍රම භාවිත කරමින් සේනා දළඹුවා මර්දනය කිරීමට සහ පාලනය කිරීමට කටයුතු කරනවා. ගොවිතැන් කරන ක්‍රමවේද භාවිත කිරීම, කන්නයට එක යායට බෝගයක් වගා කිරීම වැනි ක්‍රමත් ප්‍රයෝජනයට ගන්නවා යැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් පවසයි.
සේනා උවදුර බහුජාතික සමාගම්වල උවමනාව මත ව්‍යාප්ත වූයේ යැයි පවසන්නේ මාධ්‍ය බවත් එම උවදුර ඇමරිකාවේ මෙන්ම අප්‍රිකානු රටවල ද ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. 2018 වසරේ ඉන්දියාවට පැමිණි මෙම උවදුර මාස තුනකට පෙර ලංකාවට පැමිණියේය. එම උවදුර වගාවෙන් 40%කට පමණ වැළඳුණ ද ඒ නිසා බඩඉරිඟු අස්වනු අඩු වී නොමැත. මෙවැනි උවදුරු සඳහා තම අමාත්‍යංශය සූදානමින් සිටි බවත් එහෙයින් එම උවදුර මේ වන විට පාලනය කර ගැනීමට හැකිවූ බවත් ඇමතිවරයාගේ අදහසයි. නො එසේ නම් අනුරාධපුර ප්‍රදේශයේ සමස්ත බඩඉරිඟු වගාව විනාශ වන්නට ඉඩ තිබුණු බව ඔහු අවධාරණය කරයි. කෙසේ වුවද ඉදිරි කන්නයේ දී බඩඉරිඟු වෙනුවට වෙනත් භෝගයක් වැවිම මෙම උවදුර පාලනයට හිතකර බවට අැමතිවරයා යෝජනා කරයි.
බඩඉරිඟු ආනයනය බදු ද අද සිට රු. 10කින් ඉහළ දමා තිබේ. මේ අතර හානි වූ වගා බිම් අක්කරයක් සඳහා රු. 40 000ක වන්දි මුදලක් ගොවි ජනතාවට ලබා දීමට ද රජය තීරණය කර තිබේ.