සුද්දෝ ජාතියට බේබදුකම හුරු කළා! විවෘත ආර්ථිකය රට්ටු ණයකාරයෝ කළා! මෙවර අයවැය රට නිවැරදි මඟට යොමු කළා! – ගෙවිඳු

November 23, 2020 at 11:15 pm | by emanisa.lk

එදා සුදු ආණ්ඩුව නොමිලේ අරක්කු පොවා මේ රටේ ජනතාව මත්පැනට ඇබ්බැහි කළේ යම් සේ ද එසේ ම 1977 ජේ.ආර්. ජයවර්ධන විසින් හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමය මගින් අප ණයගැති ණයට හිඟාකන ජාතියක් බවට පත්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා (21) පාර්ලිමේන්තුවේ දී 2021 අයවයැ විවාදයට එකතු වෙමිනි.

එම පරාධීන ගමනෙහි කූඨප්‍රාප්තිය පසුගිය රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර ආණ්ඩුව සනිටුහන් කළ බව ද ඒකීය රාජ්‍ය කැබලි කර ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාවක් මගින් වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති මේ රටේ ජනතාව මව්බිමක් නොමැති සරණාගතයන් කිරීම එම දුර්දාන්ත රජයේ කාර්ය වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලැබුණු ජනවරම එතෙක් පැමිණි දුර්දාන්ත ගමන නවතා දැමීම සඳහා ලැබුණු ජනවරමක් බව ද ඔහු අවධාරණය කළේ ය. රට අනාථ භූමියක් කරන ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව පරාජය කළ ජනතාව මේ රටේ ඒකීයභාවය තහවුරු කරන ගැමි ජනතාවගේ සිතුම් පැතුම් නියෝජනය කරන ව්‍යවස්ථාවක් උදෙසා අපේක්ෂා දල්වා ගෙන සිටින බව ද හෙතෙම පෙන්වා දෙයි.

ඒ අපේක්ෂා මුඳුන් පමුණුවා ගැනීම සඳහා ගම මුල්කරගත් ආර්ථිකයක් ගොඩනඟාගත යුතු බවත් මෙවර අයවැයෙහි සාර්ථක අසාර්ථකභාවය තීරණය කළ යුත්තේ එමගින් ගම මුල් කරගත් ජාතික ආර්ථිකයක් ගොඩනඟා ගැනීම පිණිස පදනම සකසන්නේ ද යන කරුණ මත බවත් ඔහු පැහැදිලි කළේ ය.

වී සඳහා රු. 50ක සහතික මිලක් ලබා දීම ඔස්සේ ග්‍රාමීය ආර්ථිකයට පසුගිය කන්නයේ දී පමණක් රු. මිලියන 51 000ක අතිරේඛ මුදලක් පොම්ප කර ඇති බවත් එමගින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය. කුඩා වැව් 6000ක් ප්‍රතිසංස්කරණයට රු. මිලියන 10 000ක් යෙදවීම, ග්‍රාමීය මාර්ග පාළම් සඳහා මිලියන 7000ක් ආයෝජනය කිරීම, සාපෙළ අසමත් ලක්ෂයක තරුණ පරපුරකට නිපුණතා ලබා දී රජයේ රැකියා ලබා දීම ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වීමට හේතුවනු ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේ ය.

අපගේ සභ්‍යත්ව රාජ්‍යයේ පදනම සුභසාධන රාජ්‍ය වුවද එහි සුභ සාධනය යනු වැව්, මංමාවත්, රෝහල් ගොඩනඟමින් සාරවත් ජීවිතයකට පදනම දැමීම මිස හුදු ආර්ථික සහනාධාර ලබා දීම නොවන බව ද එසේ බලන කල මේ අයවැය අපේ මබ්විම නිවැරදි දිශාවකට යොමු කරවන අයවැයක් බවත් ගෙවිඳු කුමාරතුංග වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස