සෑම සුනඛයෙකුම අදාළ පළාත් පාලන ආයතනයේ වාර්ෂිකව ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ගැසට් කර ඇත.
සුනඛයින් ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කිරීම, සුනඛ ගහනය පාලනය කිරීම මෙන්ම වාණිජ අරමුණු සඳහා සුනඛයින් අභිජනනය කිරීම නියාමනය කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණු අතර වෙයි.
ඒ අනුව සති 06කට වැඩි වයසැති සුනඛයෙකුගේ අයිතිකරු හෝ එවැනි සුනඛයෙකු සිය භාරයේ තබාගෙන සිටින පුද්ගලයෙකු විසින් එම සුනඛයා ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කර වාර්ෂිකව අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කළ යුතු බවත් සඳහන් වෙයි.
සුනඛයා එන්නත් කළ බවට සහතිකයක් නිකුත් කිරීමෙන් අනතුරුව, නියම කර ඇති ලියාපදිංචි ගාස්තුව ගෙවා එම සුනඛයා පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කළ යුතුය. සුනඛයෙකු ලියාපදිංචි කිරීමට අපොහොසත් වන පුද්ගලයෙකුට ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2,000ක දඩ මුදලක් ගෙවිය යුතුය.
එමෙන්ම සෑම පළාත් පාලන ආයතනයක්ම සිය බල ප්‍රදේශය තුළ සිටින අයාලේ යන සුනඛයින් අවස්ථාවෝචිත පරිදි වන්ධ්‍යාකරණයට ලක් කිරීමට පියවර ගත යුතු බවද එහි සඳහන්ය. මේ අතර සුනඛ අභිජනන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු ඒ සඳහා බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වෙයි. බලපත්‍රයක් නොමැති කිසිදු පුද්ගලයෙකුට සුනඛ පැටවුන් අලෙවි කිරීම සඳහා අවසර නොමැත.