සීනි ආයනය බලපත්‍ර අත්හිටුවයි…! සීනිවලින් රට ස්වයංපෝෂිත කරන්න සූදානම්…! දුඹුරු සීනි ඉල්ලුමින් 75%ක් දැනටමත් රටේ ම නිපදවයි…!

June 29, 2021 at 9:57 am | by emanisa.lk

සීනි ආනයනය කිරීමේ බලපත්‍ර ලබාදීම අත්හිටුවීමට රජය තීරණය කළ බවත් ඉදිරියේ දී වෙළෙඳ අමාත්‍යාංශය මඟින් සීනි ආනයනය කර සීනි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 99ට ලබාදීමට බලාපොරොත්තු වන බවත්, උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

සීනි ආනයනය සඳහා කිලෝග්‍රෑම් 1කට ලබාදී තිබූ රුපියල් 49.75ක බදු සහනය මුළුමනින්ම ජනතාවට නොලැබී යම් කොටසක් පමණක් ජනතාවට ලැබුණු බවත්, ඉදිරි මාස 6කට අවශ්‍ය සීනි තොග රට තුළ මේ වන විට පවතින නිසා සීනි ආනයනය කිරීමේ බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව ද ඔහු පෙන්වා දෙයි.

සීනිවලට ලබාදුන් බදු සහනය මේ වන විට ජනතාවට ලැබෙමින් පවත්නා බවත් එම බදු සහනය ලබා නොදුන්නේ නම් වෙළෙඳපොළෙහි මේ වන විට සීනි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 150ක් පමණ වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ පසුව මෙරට දුඹුරු සීනි නිෂ්පාදන ධාරිතාව 75%කින් වැඩි කිරීමට සමත් වී ඇති බවත් මෙම වසර තුළදී සුදු සීනි පාරිභෝජනය සියයට සියයක්ම රට තුළ නිෂ්පාදනය කිරීමේ ධාරිතාවක් රට සතුවන බවත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර අනාවරණය කරයි.

මෙරට වාර්ෂික පාරිභෝජනය සුදු සීනි මෙට්‍රික් ටොන් ලක්‍ෂ 06ක් පමණ වන බවත් දුඹුරු සීනි මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් පමණ වන බවත් ජානක වක්කුඹුර අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙරට නිෂ්පාදනය කරනු ලබන දුඹුරු සීනි ප්‍රමාණය ඉදිරියේ දී තව දුරටත් ඉහළ දාරිතාවකට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් එවිට ඉදිරියේ දී සුදු සීනි මෙරටට ආනයනය කිරීමද ක්‍රමයෙන් අවම කිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

දේශීය සීනි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම මඟින් විදේශ විනිමය රට තුළ ඉතිරි වන බවත් අවශ්‍ය සීනි ප්‍රමාණය රජයේ මැදිහත්වීමෙන් මෙරටට ගෙන්වා ගැනීම තුළින් සාධාරණ මිලකට පාරිභෝගික ජනතාවට සීනි මිලදී ගත හැකි වන බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස