සියලු තැන්පතු සඳහා 10%ක බදු ගහනවා… බදු නොගෙවිය යුතු අයට ආපසු දෙනවා.. දෙන හැටි පස්සේ කියනවා..!

December 27, 2024 at 12:53 pm | by emanisa.lk

සියයට 10 රැඳවුම් බද්ද සියලු බැංකු තැන්පතු ගිණුම්වලින් බැංකු විසින් කපා ගන්නා බව කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

එසේ කපා ගත්තත් බදු නොගෙවිය යුතු අයට එම මුදල් නැවත ලබාදෙන යාන්ත්‍රණය රජය විසින් ඉදිරියේදී ඉදිරිපත් කරන බව ද ඊයේ (26) මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේය.

එවැනි යාන්ත්‍රණයක් හදන්නැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවත් ඒ සහනය ලබාගන්නා ක්‍රමවේදය සකසන බවත් බදු නොගෙවිය යුතු අයට මේ සියයට 10ක රැඳවුම් බද්ද කපා ගැනීමෙන් අසාධාරණයක් වීමට ඉඩ නොතියන බවට සහතික වන බවත් ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

මේ අනුව ඇමැතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනාවරණය වූයේ, රු. 150,000 ක මාසික පොලී ආදායමක් ලබන අයට පමණක් වැඩි කළ සියයට 10ක රඳවා ගැනීමේ බද්ද අදාළ වුවත් එම බද්ද බැංකුවලින් කපා ගන්නා එහෙත් බද්දට යටත් නොවන අයගෙන් එම කපා ගත් මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නැවත අදාළ තැන්පත්කරුවන්ට ලබා ගැනීමට ක්‍රමවේදයක් නොමැති බවයි.

මේ අනුව රු. 100ක මාසික පොලී ආදායමක් ලැබුණත් බැංකුවලින් සියයට 10ක රැඳවුම් බද්දක් කපා ගන්නා නිසා අදාළ මුදල නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ලබා ගැනීමට බස් ගාස්තු වශයෙන්ම ඊට වැඩි මුදලක් දැරීමට සිදුවෙනවා නොවේදැයි මෙහිදී මාධ්‍යවේදීන් ඇමැති ප්‍රනාන්දුගෙන් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු සඳහන් කළේ ඉදිරියේදී ඒ සියල්ලටම උත්තරය ගෙනෙන බවයි.

රජය පසුගියදා රැඳවුම් බද්ද සියයට 5 සිට 10 ක් දක්වා වැඩ කළේය. එහෙත් රු. ලක්ෂ එකහමාරක මාසික පොලිය ලැබුණොත් පමණක් මේ බද්දට යටත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *