සියලුම විනිසුරු විශ්‍රාම වයස් නැංවීමට විරුද්ධයි…අධිකරණ සේවා සංගමය ජනපතිට දැනුම් දෙයි…!

July 14, 2026 at 2:23 pm | by emanisa.lk

උපරිමාධිකරණ ඇතුළු සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීන්දුවට අධිකරණ සේවා සංගමය එකඟ නොවන බව එම සංගමය ජනාධිපති අනුර දිසානායක මහතා වෙත නිල ලිපියක් මගින් දැනුම් දී තිබේ.

උපරිමාධිකරණ විනිසුරුතුමන්ලා ඇතුළු සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය එකඟ නොවන බව එමගින් දැනුම් දී ඇත.

පසුගිය සෙනසුරාදා (11) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති අධිකරණ සේවා සංගම් විශේෂ මහා සභා රැස්වීමේදී රහස් ඡන්දයෙන් ඒකමතිකව අදාළ තීරණයට එළඹි බව එමගින් දැනුම් දී තිබේ.

මෙම රැස්වීමට විරෝධය පා එහි සභාපති පසන් අමරසේන විනිසුරුවරයා සිය පදවියෙන් 10 වෙනිදා ඉල්ලා අස් වූ අතර එඑම රැස්වීම පවත්වනු ලැබුවේ උප සභාපති චාමර වික්‍රමනායක විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙනි.

කෙසේ වුවද උපරිමාධිකරණ විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට සිය සංගමය එකඟ බව විධායක සභාව හෝ සාමාජිකත්වය සමග සාකච්ඡා කිරීමකින් තොරව හිටපු සභාපති පසන් අමරසේන පසුජිය ජුනි 01 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක සමග පැවති නිල නොවන සාකච්ඡාවකදී දැනුම් දීමෙන් අනතුරුව විධායක සභාවෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ජුලි 11 වෙනි දින විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට විධායක සභාව තීරණය කළේය.

මාධ්‍යවේදී සරෝජ් පතිරණ ප්‍රකාශ කරන පරිදි මෙම රැස්වීම කඩාකප්පල් කිරීමට විශාල උත්සාහයක් දරා ඇති අතර එම රැස්වීමට සහභාගි වුවහොත් විනිසුරුවරුන්ට අදාළ උසස්වීම්, වැටුප් වර්ධක හෝ විදේශ චාරිකා ලබා නොදෙනු ඇති බවට සහ ඇතැම් විට විනය පරීක්ෂණවලට පවා මුහුණදීමට සිදුවිය හැකි බවට අගවිනිසුරු සූරසේන පාර්ශ්වය විනිසුරුවරුන්ට බලපෑම් කර තිබේ.

අවසානයේ අදාළ රැස්වීම සඳහා එය සාම්ප්‍රදායිකව පැවැත්වෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ භූමිය පවා ලබා දී නොමැති අතර ඒ සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තෝරාගැනීමට සංගමයට සිදු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස