ශානි අබේසේකර නිදොස් කොට නිදහස්…!

August 26, 2023 at 10:34 am | by emanisa.lk

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩුවකට අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර නිදොස් කොට නිදහස් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

විනිසුරු ශිලිණි පෙරේරාගේ නියෝගය පරිදි පොලිස් පරීක්ෂකවරුන් වන සුගත් මෙන්ඩිස්, නිශාන්ත සිල්වා හා උපපොලිස් පරික්ෂක ආර්. ප්‍රේමතිලක නිදොස් කොට නිදහස් කෙරුණු සෙසු සැකකරුවෝ වෙති.

නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පැමිණිලි පාර්ශ්වය ඉදිරිපත් කර නොමැති බැවින් එම සැකකරුවන් නිදහස් කිරීමට නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී ඇති බවට එම දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එසේ නියෝග කළා ය.

සැකකරුවන් පිරිස නිදහස් කරන ලෙසට නීතිපතිවරයා දී තිබෙන උපදෙස් නැවත සලකා බලන ලෙස ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය ඉල්ලා සිටියේ ය.

යම් නඩුවක් ඉදිරියට පවත්වාගෙන යන්නේ ද එම නඩුවට අදාළ සැකකරුවන් නිදහස් කරන්නේ ද යන්න පිළිබඳව නිගමනය කළ යුත්තේ නීතිපතිවරයා මිස විමර්ශන නිලධාරීන් නොවන බව ද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසීය.

දෙපාර්ශවය දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් සිව් දෙනා නිදොස් කොට නිදහස් කළ අතර ගිනි අවි ආඥා පනත හා ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනත අනුව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සැකකරුවන් සිව් දෙනාට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *