ශ්‍රී ලංකාව 5-0ක් ලෙස පරාජයෙන් ගැළවෙන්නට අද තරඟ බිමට! ලෝක කුසලානයට පෙර අවසන් එක්දින තරඟය අද!

March 16, 2019 at 8:19 am | by admin

පිට පිටම දෙවැනි වරටත් දකුණු අප‍්‍රිකාවේදී 5-0 ක එක්දින තරගාවලි පරාජයෙන් ගැලවීමට නම් ශ‍්‍රී ලංකාව අද (16 දා) කේප් ටවුන්හීදී පැවැත්වෙන අවසන් තරගය හෝ ජය ගත යුතුවේ. දිවා රාත‍්‍රි තරගයක් වන මෙය ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.30 ට ආරම්භ වේ.

දෙරට අතර පැවැති පළමු තරග හතරම ශ‍්‍රී ලංකා පිලේ පිතිකරුවන්ගේ දුර්වලතාව විදහාපාමින් පරාජයට පත්වීම හේතුවක් මේ වන විටත් සත්කාරකයන් 4-0 ක් වශයෙන් තරගාවලියේ ශූරතාව අයිති කරගෙන තිබේ. 2017 වසරේදීද ශ‍්‍රී ලංකාවට සිදුවූයේ මෙවැනිම සිදුවීමකි. යළිත් එවැනි දරුණු තරගාවලි පරාජයකින් බේරීමට නම් අද තරගයේදී ශ‍්‍රී ලංකා පිතිකරුවන් සිය අවි මුවහත් කර ගැනීම අනිවාර්ය වේ.

මෙම තරගය ලෝක කුසලානට පෙර ශ‍්‍රී ලංකාව සහභාගි වන අවසන් එක්දින තරගය වේ. කෙසේ වෙතත් මෙවර තරගාවලියෙන් පසුව ලෝක කුසලාන කණ්ඩායම තෝරා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව බලාපොරොත්තු තබා සිටියත් බහුතරයක් ක‍්‍රීඩකයන් දැක්වූ දක්ෂතාව හේතුවෙන් අදාළ සංචිතය තේරීමට දේශීය තරගාවලියත් උපයෝගි කර ගැනීමට සිදුව තිබේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙම තරගයෙන් පසුව ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිතව තිබේ. කණ්ඩායමේ ඇති අර්බුද සහ දිගින් දිගටම පරාජය වීමට හේතු විමසීමට ඔහුව කලින් ගෙන්වා ගැනීමට සිදුවන බව වාර්තා වේ. නමුත් උද්ගතවී ඇති තත්ත්වය අනුව මෙය හතුරුසිංහ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කරන අවසන් තරගය බවටද පත්විය හැක.

දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය ලබන 19 වැනිදා කේප් ටවුන්හිදී ආරම්භ වන අතර එම තරග ත‍්‍රිත්වයේදී ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරුවා වශයෙන් ස්ටීවන් රික්ෂන් මහතා කටයුතු කරනු ලබයි. අද තරගයේදී ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු වශයෙන් ක‍්‍රීඩා කරන උපුල් තරංගට විශේෂ තරගයක් වීමටද ඉඩ තිබේ.

නායක ලසිත් මාලිංග පන්දුවාර පනහ එක්දින තරගවලට නායකත්වය දෙන අවසන් තරගයද මෙය වීමට ඉඩ ඇති අතර ලෝක කුසලානයේදී ශ‍්‍රී ලංකා නායකත්වය වෙනස් කිරීමට ක‍්‍රිකට් තේරීම් කමිටුව බලාපොරොත්තු වේ. කණ්ඩායමේ නවක ක‍්‍රීඩකයන්ට ලෝක කුසලාන සඳහා අවස්ථාව උදාකර ගැනීමට මෙම තරගය පිටිවහලක් වේ.

දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *