ඉදිරියට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීමට අපේක්ෂා නොකරන බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (16) සිය නීතිඥවරයා මගින් අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
මේ වන විට එම පක්ෂයේ සභාපති ලෙස කටයුතු කරන නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු නිලධාරීන් සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බවට ද හිටපු ජනාධිපතිවරයා සහතික විය.
ඒ, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් මෛත්රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට තිබියදීත් එකී ධුරයේ තව දුරටත් කටයුතු කිරීම මගින් මෛත්රීපාල සිරිසේන මහතා අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේය.
එම කරුණු අනුව සලකා බැලූ අභියාචනාධිකරණය දෙපාර්ශ්වයේම එකඟතාව මත එම පෙත්සම සමථයකට පත් කර ගැනීමට අවසර ලබා දුන්නේය.