ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂය අවාසනාවන්ත ලෙස අගාධයට ඇද බවට චෝදනා කරමින් ඔහු වෙත රහස්‍ය ලිපියක් යොමුකර තිබේ.
මෙමගින් හිටපු ජනාධිපතිවරයාට බරපතළ චෝදනා 7ක් එල්ල කර ඇති අතර පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපති ශාන් විජේලාල් ද සිල්වා, උප සභාපතිවරුන් වන දුෂ්මන්ත මිත්‍රපාල සහ අංගජන් රාමනාදන් ඊට අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.
එම ලිපිය මගින් පක්ෂ නායකයාට එරෙහිව නගා ඇති චෝදනා මෙසේය. 2015 ජනාධිපතිවරණයේදී පක්ෂයේ අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කොට ස්ථිර කර තිබියදී පක්ෂයෙන් ඉවත්ව පක්ෂ අපේක්ෂකයා පරාජයට පත්කිරීමට පියවර ගැනීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සදා පසමිතුරු එපාපය සමඟ සන්ධාන ගතවී පොහොට්ටුව පක්ෂය නිර්මාණයට පාර කපා දීම, ශ්‍රීලනිප මන්ත්‍රීන් පොහොට්ටුව වෙනුවෙන් දේශපාලනය කරද්දී ඔවුනට එරෙහිව විනය පියවර නොගෙන පොහොට්ටුව ශක්තිමත් කිරීමට අවස්ථාව සැලසීම, තමන් පත් කරගත් අගමැතිවරයා සමඟ සාමූහිකව වැඩ නොකරමින් ජාතික ආරක්ෂක මණ්ඩලයට පවා නොකැඳවීමත් ඒ සමඟ හටගත් පාස්කු ප්‍රහාරයේ වරද ජනාධිපතිගේ හිස මත කඩා වැටීමට හේතුවීමත් නිසා කතෝලික ජනතාව පක්ෂයෙන් ඈත්වීම, ආණ්ඩුවේ අමාත්‍ය ධූර භාරගත් ශ්‍රීලනිප මන්ත්‍රීන්ට එරෙහිව විනය පියවර නොගෙන විධායක සභාවට ආරාධනා කිරීම තුළින් පක්ෂ විනය කඩ කරන්නන් දිරිමත් කිරීම, ශ්රීලනිපය ප්‍රධාන දේශපාලන සන්ධානයක් පිහිටුවා දින කිහිපයක් තුළ හවුල්කාර පක්ෂ නායකයන්ට වාග් ප්‍රහාර එල්ල කර හිතවත් පක්ෂ අමනාප කර ගැනීම, සමාජය තුළ දැඩි ආණ්ඩු විරෝධයක් හටගෙන තිබියදී ශ්රීලනිපය ආණ්ඩුව දෙසට තල්ලු කිරීමෙන් පක්ෂය තව දුරටත් ජනතාවගෙන් ඈත් කිරීමට ක්‍රියා කිරීම යන චෝදනා 7 මෙලෙස පක්ෂ නායකයාට එල්ල කර තිබේ.
මෙම බරපතළ චෝදනා සහිත ලිපිය පක්ෂ නායකයාට භාර දී දැනට දින කිහිපයක් ගතවී ඇතත් පක්ෂ නායකයා ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. කෙසේ වෙතත් මෙම ලිපියත් සමඟ ශ්රීලනිපය බරපතළ පුපුරා යාමකට ලක්ව ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.