වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට ස්ථාන මාරුවක් ලබාදුන්නේ ඔහුගේ ම ඉල්ලීම පරිදි බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.
“සාමාන්‍යයෙන් විවිධ පෙත්සම් සහ චෝදනා එනවා. ඒවා විභාග කරන්න විමර්ශනයක් කරන අතරතුර තමයි ඔහු මාරු කළේ. මොකද ඒ පෙත්සම් විභාග කරනකොට එතුමාට එතන ඉන්න බැහැ. ඒක නිසා එයාගෙම ඉල්ලීම පරිදි තමයි අපි එයාව මීගමුවට මාරු කළේ.
විමර්ශනය තාම යනවා. එතකොට ඒකෙ තියන පෙත්සම් මොනවද කියලා අපි කියන එක හොඳ නෑ, ඒ නිලධාරියාටත් හොඳ නෑ. තියෙන විශේෂ විමර්ශන ඒකකය කවදාවත් විසුරුවලා නෑ. අපි කවදාවත් එහෙම කරන්නෙ නෑ. ඒක නිසා මේක මේ දේශපාලන බලපෑම් මත මේක වුණා කියන එක හරිම වැරදියි.”
අමාත්‍ය සරත් වීරසේකර මේ බව පැවසුවේ මෙම ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් රජයට එල්ල වී ඇති චෝදනාවලට ඊයේ (01) මාධ්‍ය හමුවේ පිළිතුරු ලබාදෙමිනි.