විමල්  – බැසිල් ගැටුම නිසා ජනාධිපතිකම අතහරින්න වුණා..! – ගෝඨාභය…

March 9, 2024 at 7:05 pm | by emanisa.lk

දේශපාලන හා ආරක්ෂක අංශවල හටගත් බිඳවැටීම් ගණනාවක් නිසා තමන්ට ජනාධිපති තනතුර හැර යන්නට සිදුවූ බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි.

ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය මැයෙන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් ලියන ලද ග්‍රන්ථයෙන් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන, අනුර යාපා, දයාසිරි ජයසේකර ඇතුළු ඇමැතිකම් අපේක්ෂා කළ පිරිසට පොහොට්ටුවෙන් නාම යෝජනා ලබා නොදිය යුතුව තිබූ බවත් ඔවුන් ඇමැති ධූර ලබා දිය නොහැකි වීම ආණ්ඩුවේ දේශපාලන අර්බුදයට මග පෑදූ බවත් හෙතෙම අනාවරණය කරයි.

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇතුළු මැති ඇමැතින් පිරිසක් හා බැසිල් රාජපක්ෂ මහතා සමඟ පැවති අර්බුදය ද මහින්ද රාජපක්ෂ මහතා ඍජුවම දේශපාලනයට සම්බන්ධ නොවීම ද මෙම අර්බුද උග්‍ර කළ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

අරගලය අවස්ථාවේදී ආරක්ෂක ලේකම්වරයා, හමුදාපති, ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී සහ පොලිස්පතිවරයා පැවති තත්ත්වයට මුහුණ දීමට සැලසුමක් සකස් කර නොතිබිණි. ආරක්ෂක ලේකම් හා හමුදාපති සහයෝගයෙන් කටයුතු නොකළ අවස්ථා ද තිබිණි.

ජාත්‍යන්තර වශයෙන් මොවුනට එල්ල වී තිබූ මානව හිමිකම් චෝදනා ආදිය නිසා ද අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග ගැනීම අඩාල වන්නට ඇති බව හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *