විද්වත් අදහස් සපිරි ‘සෞභාග්‍යයේ දැක්ම’ ක්‍රියාත්මක කරන්න 2/3ක බලයක් දෙන්න! – අගමැති මහින්ද

July 19, 2020 at 11:59 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ රටේ 69 ලක්ෂයක් ජනතාව අනුමත කළ සිය සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට සූදානම් වන විපක්ෂය මුදල් පනත පරාජයට පත්කරන බව පවසමින් ඊට එරෙහි වූ බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ (17) කොළඹ පැවති විද්වත් හමුවකට එකතු වෙමිනි.

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ රටේ 69 ලක්ෂයක් ජනතාව අනුමත කළා. එය මේ රටේ බුද්ධිමතුන්ගේ විද්වතුන්ගේ අදහස් අනුව සකස් කළ ඉතාම ප්‍රායෝගික වැඩපිළිවෙළක්.

එම ප්‍රතිපත්තිය අනුව රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නත් කොරෝනා වසංගත තත්ත්වයට මුහුණ දීමටත් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගන්න ජනාධිපතිතුමා බලයට පත්වූ අලුත අපි මුදල් පනතක් ඉදිරිපත් කරන්න සූදානම් වුණා.

ඒ අවස්ථාවේ විපක්ෂය මුදල් පනත පරාජය කරන බව ප්‍රකාශ කළ. අපට ඒ පනත හකුළා ගන්න සිද්ධ වුණා. ජනාධිපතිවරයාට ලැබෙන පළමු අවස්ථාවේම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට පියවර ගත්තේ එවැනි විපක්ෂයක් එක්ක රටක් ඉදිරියට ගෙන යන්න බැරි නිසායි.

මෙවර මහා මැතිවරණය සඳහා අපි තවත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් නොකළෙත් සෞභාග්‍යයේ දැක්ම සියලුම අංශවල විද්වතුන්ගේ අදහස් අනුව සකස් කළ වටිනා වැඩපිළිවෙළක් නිසයි. ඉදිරියේදී පිහිටුවනු ලබන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව යටතේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි.

සෑම ක්ෂේත්‍රයකම විද්වතුන්ගේ අදහස් අනුව සකස් කළ 69 ලක්ෂයක් ජනතාව අනුමත කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කරනන්න අපි ජනතාවගෙන් 2/3ක බලයක් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඉදිරියටත් රටේ දියුණුව වෙනුවෙන් විද්වතුන්ගේ ප්‍රායෝගික අදහස් අපි බලාපොරොත්තු වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස