රිමාන්ඩ් භාරයේ සිටින වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි අරගලකරුවන් අතර සිටි ත්‍රස්තවාදීන් යැයි  විමර්ශනවලින් පෙනී ගොස්  තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්  අලස් පාර්ලිමේන්තුවේදී පැවසීය.වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි පිළිබඳව විපක්ෂ නායකවරයා අදහස් දැක්වූ බවත් සාමාන්‍ය අරගලකරුවන් අතර ත්‍රස්තවාදීන් ද සිටි බව විපක්ෂනායකවරයා එහිදී සඳහන් කළ බවත් ටිරාන් අලස් කීය.

විමර්ශන  අනුව පෙනී යන්නේ වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි මේ අය ත්‍රස්තවාදීන් පිරිසට අයත් අතර ඔවුන්  සාමාන්‍ය අරගලකරුවන් නොවේ යැයි මහජන  ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

සාමාන්‍ය අරගලකරුවන් තමා සමඟ දැනටත් කතා කරන බවද අන්තිමට ඒ අය ගෝල්පේස් එකෙන් එළියට විසිවෙලා මේ අය ගෝල්ෆේස් එක අතට ගත්තා යැයි ද ටිරාන්  අලස් කීය.

දැනට විමර්ශන කරගෙන යන අතර  හෙට අනිද්දා ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වේවි යැයිද  මේ අයට මුදල් වියදම් කළ අය හෝටල්වල ඉන්න සල්ලි ගෙව්වේ කවුද? ආදී ලොකු නම් එලියට ඒවි යැයි ටිරන් අලස් පැවසීය.

ඇමැති ධුරයේ සිටින තුරු තමාට බාරදුන් වගකීම හරියාකාරව ඉටු කරන බව කී මහජන ආරක්ෂක අමාත්‍යවරයා  පොලිසියේ ඒ වගකීම ඉටු කරන්න කැමති නැති අය ඉන්නවා නම් යන්න පුළුවන් බවද කීය.

සියලු ප්‍රශ්න ඇති කරන්නේ පෙරටුගාමී පිරිස බවද ඒ කට්ටියට තදින්ම ක්‍රියාත්මක වෙන අතර ඒකෙ වචන දෙකක් නැතැයි ද කිසිම හේතුවකට එය වෙනස් නොකරන බවද ටිරාන් අලස් අවධාරණය කළේය.