වරුණි බෝගහවත්තගේ මෝටර් රථය අත්අඩංගුවට… ගත්තු විදිහ කියන්න බෑ… ලීසිං ගෙව්වේ බිලියන වංචාකාරයෙක්…!

October 17, 2026 at 11:24 am | by emanisa.lk

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත සතු මෝටර් රථය පොලිස් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ භාරයට ගෙන තිබේ.

මාතර සමුපකාර සංගමයේ සිදුවූ දැවැන්ත මූල්‍ය වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු විසින් ලීසිං වාරික ගෙවා ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟයි.

අදාළ මෝටර් රථය මිලදී ගැනීම සඳහා මුදල් උපයා ගත් නීත්‍යානුකූල ආකාරය හා ඊට අදාළ මූල්‍ය මූලාශ්‍ර පිළිබඳව විමර්ශන නිලධාරීන් හමුවේ තහවුරු කිරීමට හෝ කරුණු පැහැදිලි කිරීමට එම නිලධාරිනිය අපොහොසත් වී ඇති බව වාර්තා වේ.

මාතර සමුපකාර සංගමයේ රුපියල් කෝටි දහසකට (බිලියන 10කට) අධික මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කර වංචා කළ බව කියන පුද්ගලයෙකු විසින් මෙම පොලිස් පරීක්ෂකවරියගේ මෝටර් රථයේ ලීසිං වාරික දිගින් දිගටම පියවා ඇති බවට මූල්‍ය විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු වෙනුවෙන් රථය මෙලෙස නිලධාරීන් භාරයට ගැනීමට පියවර ගෙන ඇත.

දකුණු පළාතේ සමුපකාර ග්‍රාමීය බැංකු සහ මාතර දිස්ත්‍රික් සමුපකාර සමිති පද්ධතිය තුළ තැන්පත්කරුවන්ගේ රුපියල් බිලියන ගණනක අරමුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මීට පෙර පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර සැකකරුවන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

එම වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් සිය අයථා මුදල් යොදවමින් විවිධ පාර්ශ්ව වෙත ලබාදුන් වරප්‍රසාද, දේපළ මිලදී ගැනීම් සහ මුදල් විශුද්ධිකරණ ජාලය පිළිබඳ සිදුකෙරෙන දීර්ඝ විමර්ශනවල එක් අදියරක් ලෙස මෙම මෝටර් රථය සම්බන්ධ ගනුදෙනුව හෙළිවී ඇති අතර, සිද්ධිය පිළිබඳව පොලිස් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *