වයෝවෘද්ධ ටිකිරා ඇතින්න පෙරහැරේ ගමන් කළේ ඇයි! නිරාගමිකයන්ට ඇත් හිමියා පිළිතුරු දෙයි!

August 14, 2019 at 10:43 am | by emanisa.lk

ශරීර සෞඛ්‍ය පිරිහී රෝගාතුර වූ වයෝවෘද්ධ ටිකිරා ඇතින්න වෙනුවෙන් සිදු කළ භාරයක් ඔප්පු කිරීම සඳහා ඇතින්න සුව වූ පසු මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ විශ්ණු දේවාලයේ පෙරහැරට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව සමාජ මාධ්‍ය මගින් ගෙන යනු ලබන අසත්‍ය ප්‍රචාර තරයේ හෙළා දිකින බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න පවසයි.

විෂ්ණු දේවාලයේ පෙරහැර සඳහා අලි ඇතුන් 18 ක් පමණ සහභාගි වන බවත් එයින් එක් අලියෙකු සම්බන්ධව අසත්‍ය ප්‍රචාරයන් කරනවා විනා අනික් තරුණ අලි ඇතුන් ගැන සුභවාදි ප්‍රචාරයන් ගෙන නොයන්නේ මන්ද යන්න ගැන සැකයක් පහළ වන බවද හෙතෙම පැවසීය.

මේ සම්බන්ධව ටිකිරා ඇතින්නගේ හිමිකරු වන එල්.එල් තිලකරත්න මෙසේ පැවසීය,

“ශරීර සෞඛ්‍ය පිරිහුණු වයෝවෘද්ධ ටිකිරා නම් ඇතින්න මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව සමාජ මාධ්‍ය මගින් එල්ල කරන චෝදනා සියල්ල අසත්‍යයි. මහනුවර විෂ්ණු දේවාලය නියෝජනය කරමින් තුන්වන රන්දෝලි පෙරහැරට පමණයි ටිකිරා ඇතින්න ගමන් කළේ. පසුගිය වසරේ පෙරහැරෙන් පසුව ආහාර ජීර්ණය නොවීමේ රෝගයකින් මාස 06ක පමණ කාලයක් ඇතින්න පීඩා වින්දා.

ඊට ප්‍රතිකාර කරන අතර රෝගය සුවවීම ප්‍රාර්ථනය කරමින් භාරයක් වූ වුණා විෂ්ණු දෙවිය්නය ඇතින්න සුව වූ පසු රන්දෝලි පෙරහර එකකට හෝ දෙකකට සම්බන්ධ කරන බවට. ඒ අනුවයි එම ඇතින්න දළදා පෙරහැරේ ගමන් කළේ. ඇතින්නට ප්‍රතිකාර කළ වෛද්‍යවරු සතා දිනකට කිලෝමීටර දෙකක පමණ දුරක් ඇවිද්දවන ලෙස දැනුම්දී තිබෙනවා. කරුණු නොදැන සමාජ මාධ්‍ය මගින් වැරදි ප්‍රචාර ගෙන යෑම පිළිකුලෙන් යුතුව මම හෙළා දකිනවා.”

හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

“මෙම සතා තිලකරත්න මහතා විසින් පෙරහරට සම්බන්ධ කරනු ලැබුවේ කිසිදු මුදලක් අය නොකරයි. එතුමා තම ඇතින්නගේ ජීවිතය බේරා දෙන ලෙස දෙවියන්ගෙන් කළ ඉල්ලීම ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට අවස්ථාව විෂ්ණු දේවාලය මගින් එතුමාට ලබාදීලා තිබෙන්නෙ.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට ඇතෙකු, අලියෙකු හෝ ඇතින්නක සම්බන්ධ කරන්නේ පශු වෛද්‍යවරුන් සතා පරීක්ෂාවට ලක්කර උගේ සෞඛ්‍ය තත්ත්වය පිළබඳව සෑහීමකට පත්වුවහොත් පමණයි.

මෙම ඇතින්න පෙරහරේ ගමන් කළේද වෛද්‍ය නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව. ඒ සඳහා වෛද්‍යවරුන් පෙරහැරට කලින් විශාල පිරිසක් බලනවා ඒ සම්බන්ධව. ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් විලංග දැල මහතාත් සොයා බලන බවද ධම්සිරි මහතා කිය.

මේ අතර මෙම ඇතින්න සිවුවන රන්දෝලි පෙරහරට සම්බන්ධ කර නොගන්නා බව මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ තමන්ට දැනුම් දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් කීය.

මෙම ඇතින්න අවුරුදු 50ක් පමණ දළදා පෙරහැර අලංකාර කරමින් එහි ගමන් කිරීමේ භාග්‍ය ලැබූ ඇතින්නක බව ද සඳහන් වෙයි. මෙම ඇතින්න පෙරහැරේ ගමන් කරවීම විශාල සත්ත්ව හිංසාවක් බවට ද ඇතින්නට දවස් ගාණක් කිලෝ මීටර් ගණනක දුර ඇවිද යා හැකි නොවන බවට ද පසුගිය සමයේ සමාජජාලවල දැඩි කතාබහක් නිර්මාණය විය.

එහෙත් දුම්රියේ ගැටී, උගුල්වලට හසු වී, වෙඩි වැදී වාර්ෂිකය මිය යන ඇතුන් පිළිබඳ මෙම සත්ත්ව අවිහිංසාවාදීන් උනන්දු නොවන බවට සමාජයේ විශාල විවේචනයක් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස