ලබන මාසේ තෙල් ගේන්න තියෙන්නේ මිලියන 100…! තව ඩොලර් මිලියන 400ක මදියි…! – කාංචන…

June 16, 2022 at 5:15 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව පසුගිය වසරක පමණ කාලය තුළ ඉන්ධන ආනයනය කර සැපයුම්කරුවන්ට ඩොලර් මිලියන 735 ක් (ඩොලර් කෝටි 73.5) පමණ ණය වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

එම තත්ත්වය හේතුවෙන් ඉන්ධන සැපයයුම්කරුවන් ටෙන්ඩර් සඳහා ඉදිරිපත් නොවීමෙන් ඉන්ධන සැපයුම ඉදිරියේ දී දැඩි අභියෝගයක් බව ඇමැතිවරයා ප්‍රකාශ කළේ අද (16) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එකතු වෙමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහං පවසන ආකාරයටම ඉන්ධන ආනයන කිරීම වඩාත් බරපතල ක්‍රියාවලියක් බවට පත්ව ඇති බව ද ඉදිරි කාලය වඩාත් අමාරු කාලයක් වනු ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ඉන්ධන සැපයුම පහසුවෙන් කළ හැකි දෙයක් නොවන බවත් ශ්‍රී ලංකාව පසුගිය වසරේ ජුලි මස සිට මේ දක්වා වසර පමණ කාලය තුළ ආනයන කළ ඉන්ධන සඳහා මෙම ණය මුදල ගොඩගැසී ඇති බව කී අමාත්‍ය විජේසේකර එම කාලය තුළ ශ්‍රී ලංකාවට සැපයුම්කරුවන් ඉන්ධන ලබා දීමේ දී මාස හය සහ 12 බැගින් වූ ණය පහසුකම් සැපයීම නිසා ගැටලුවක් නොවූ බව ද සඳහන් කළේය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිලදී ගැනීමට ටෙන්ඩර් ක්‍රියාවලිය අනුගමනය කළ ද සැපයුම්කරුවන් ටෙන්ඩර් සඳහා ඉදිරිපත් නොවීම ගැටලුවක් බවත් ඒ නිසා ඉදිරිපත් වන එකම ටෙන්ඩරයට ඉන්ධන මිල දී ගත නොහැකි නිසා ඉන්ධන මිල දී ගැනීමේ කමිටුවට මිල ගණන් ඉදිරිපත් කර අනුමැතිය ලබා වෙනත් ආකාරයේ ක්‍රමයකට ඉන්ධන මිලදී ගැනීම කරන බවත් අමාත්‍යවරයා කීය.

ඉන්ධන මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ සෙසු රාජ්‍ය අතර මෙන්ම සමාගම් අතර ද සාකච්ඡා තවමත් ක්‍රියාත්මක වන බව කී අමාත්‍ය විජේසේකර, රුසියානු රජය සමඟ ද ඉන්ධන සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ලබන මාසයේ ඉන්ධ අවශ්‍යතාව සඳහා ඉන්ධන ආනයනයට ඩොලර් මිලියන 550 ක් පමණ අවශ්‍ය වුවද මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 100 ක් පමණක් ලබා දීමට එකඟ වූ බවත් ඒ අනුව ඩොලර් මිලියන 400 ක පමණ අඩුවක් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ දිනක ඩීසල් අවශ්‍යතාව ටොන් 5000 ක් පමණ වුවද මේ වන විට දෛනිකව ඩීසල් ටොන් 3000 – 3200 ත් අතර ප්‍රමාණයක් ද, දිනක පෙට්‍රල් අවශ්‍යතාව ටොන් 3200 ක් පමණ වුවත් දිනකට ටොන් 2600 ක් පමණ සපයන බවත් කී අමාත්‍යවරයා ඩීසල් සහ පෙට්‍රල් සැපයුම්කරුවන් දෙදෙනෙකුට සැපයුම් වාර තුනක් සඳහා සහ බොරතෙල් සැපයුම්කරුවන් හයකට ආනයනයට අවසර පත ලබාදුන් බව ද සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර බලශක්ති අමාත්‍යංශයේදී අද (16) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස