ලංකාවට රේල් පීලි 10 000ක් ගෙනාවා… හය මාසෙන් මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයට තිත…! – නි. ඇමති ප්‍රසන්න ගුණසේන….

August 25, 2026 at 1:26 pm | by emanisa.lk

මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා ප්‍රමාද වෙමින් පැවති රේල් පීලි 10 000ක ඇනවුමක් කොළඹ වරායට ළඟා වූ බව නි. අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

නි. ඇමතිවැයා මේ බව පවසා ඇත්තේ සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමිනි.

“මැදපෙරදිග පැවති යුදමය තත්ත්වය හේතුවෙන් යම් කාලයක් ප්‍රමාද වූ රේල් පීලි ඇනවුම ඊයේ (23) දින කොළඹ වරායට ළඟා වූ අතර මේ වන විට ඒවා ගොඩබෑමේ කටයුතු සිදු කරමින් පවතී.

මෙම රේල් පීලි 10,000න් 5,000කට ආසන්න ප්‍රමාණයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වේග සීමා පනවා ඇති ස්ථානවල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය.

ඒ අනුව, කොළඹ කොටුව සිට පානදුර දක්වා ස්ථාන 50කට ආසන්න ප්‍රමාණයක නව රේල් පීලි යොදා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති අතර එම කටයුතු සඳහා මාස 6ක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම රේල් පීලි මිලදී ගැනීම සඳහා රු. මිලියන 2,000ක පමණ දේශීය අරමුදල් වැය කර ඇති අතර, මීට සමගාමීව දුම්රිය පාලම් ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමටද අවශ්‍ය පියවර ගනිමින් පවතී.

මෙම කටයුතු අවසන් වීමත් සමඟ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෛනිකව සිදුවන දුම්රිය ප්‍රමාදයන් සැලකිය යුතු ලෙස අවම කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *