කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිකි රෝසි සේනානායක මේ වන විටත් නගරාධිපති නිල නිවසේ රැඳී සිටින බව වාර්තාවෙයි.
එම නගර සභාවේ නිල කාලය අවසන්ව මේ වන විට මාස තුනක පමණ කාලයක් ගත වී තිබේ.
ඇයගේ පුද්ගලික නිවස අලුත් වැඩියා කරන බැවින් පසුගිය මැයි 16 වැනි දා තෙක් නිල නිවසේ රැඳී සිටීමට බස්නාහිර ආණ්ඩුකාර වරයාගේ අවසර ලබාගෙන තිබිණි. එම අවසර කාලය ද මේ වන විට ඉක්ම ගොස් ඇතත් ඇය තව දුරටත් මෙසේ නිල නිවසේ රැදී සිටී.
කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය සඳහන් කරන්නේ හිටපු නගරාධිපතිනිය රැඳී සිටින්නේ ආණ්ඩුකාරවරයාගේ අවසරය මත බවත් එම කාලය තව දුරටත් දීර්ඝ කර ගත්තේ දැයි තමන් නොදන්නා බවත්ය.
මේ අතර ජනාධිපති උපදේශිකාවක ලෙස පත්වීම් ලැබ සිටින රෝසි සේනානායක, නගරාධිපතිනි ලෙස කටයුතු කරද්දී භාවිත කළ නිල රථය හා එහි රියැදුරු ද තමන්ට භාවිතයට ලබා දෙන ලෙස ඉල්ලා ඇත.
ඒ අනුව නගර සභාවෙන් එම රථය ජනාධිපති ලේකම් කාර්යාල වෙත මුදා හැර ඇති බව වාර්තා වෙයි.