රූකඩ නායකයින් ආයේ බලයට ගේන්නේ නෑ…! ජනබලමුළු සජිත් වටා රොද බඳිනවා…! 2024 අපේ ජනාධිපති අපේක්ෂක ඔහුයි…! – බාකිර් මාර්කර්…

November 5, 2021 at 8:07 am | by emanisa.lk

රූකඩ නායකයන් බලයට ගෙන ඒමට ක්‍රියාත්මක වන උත්සාහයන්ට ඉඩ නොදිය යුතුයි. පොදු අපේක්ෂකයකු ලෙසින් මෛත්‍රීපාල සිරිසේන ජනපති අපේක්ෂකයා කිරීමෙන් සිදුවූ හානිය පාඩමක් කර ගනිමින් ඉදිරි ජනාධිපති මැතිවරණය සඳහා සිය අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ඉදිරිපත් කරනු ඇති බව එහි ජ්‍යෙෂ්ඨ සභාපති, හිටපු ඇමැති ඉමිටියාස් බාකිර් මාකර් ප‍්‍රකාශ කරයි.

මාදුළුවාවේ සෝභිත හිමියන්ට එදා සහතික කළ සියලු අරමුණවලට පටහැනිව යමින් ජනතා විශ්වාසයෙන් ඇති කරගත් යහපාලන රජයේ ඇමැති තනතුරු ප‍්‍රතිවාදී කල්ලිවල පුද්ගලයින්ට පිරිනැමීමට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ක්‍රියා කළ නිසා යහපාලනය විනාශ වූ බව ද හෙතෙම කියා සිටී.

එම නිසා අදාළ වරද නැවත සිදු නොවීම වෙනුවෙන් පිරිසිදු ආණ්ඩුවක් නිර්මාණය කිරීමට තම පක්ෂයේ එකම නායකයා වන සජිත් ප්‍රේමදාස කෙරෙහි විශ්වාසය තැබීමට සිය පක්ෂය තීරණය කර ඇතැයි ද බාකිර් මාකර් පවසයි. සජිත් ප්‍රේමදාස රැඩිකල් වෙනසක් සිදු කළ විපක්ෂ නායකයෙක්. ඔහුගේ ජවසම්පන්න කාර්යශූරත්වය හා ජනතාවාදී දැක්ම රටේ අනාගතයට ලබාගත යුතු බව ද කීය.

ජනතාවගේ විශ්වාසයට දෝහි නොවෙමින් යහපාලන ආණ්ඩුවේ අප‍්‍රසන්න ගති ඉවත් කර ගනිමින් නායකත්වයේ අඩුපාඩු ඇත්නම් එය නිවැරදි කර ගනිමින් ඉදිරියට මුහුණ දෙන බව ද හෙතෙම පවසයි.

යහපාලන ආණ්ඩුව වරදවා ගත්තේ වරම ලබා ගත් පුද්ගලයින් අමතක කර දැමීම නිසා බවත් කී ඒ මහතා සජබ නායකයා යටතේ නැවත එවැන්නක් සිදු නොවනු ඇතැයි ද අවධාරණය කරයි.

රට තුළ පවතින නීති ප‍්‍රමාණවත් බවත් කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවත් කී හෙතෙම පවතින තත්ත්වයන් තේරුම් ගනිමින් කටයුතු කිරීම පමණක් කළ යුතුව ඇතැයි ද කියා සිටී.

ජනතා නායකයින් වෙනුවට වෙනත් පුද්ගලයින් ගෙන ඒමේ උපායන් සමගි ජන බලවේගය සිදු නොකරන බවත් පැහැදිලි ප‍්‍රතිපත්තියක් තුළ සිටිමින් රට සහ ජනතාව ජයග‍්‍රහණය කරවීම සිය පක්ෂයේ සහ නායකයාගේ අභිප‍්‍රාය බවත් ඒ මහතා පවසයි.

අපි ජනාධිපති අපේක්ෂකයා, නායකයා තෝරන්නේ කාමර තුළ සිට සිදුකරන කුමන්ත‍්‍රණවලින් නොවෙයි. පක්ෂය තුළ ඇති කෘත්‍යාධිකාරී මණ්ඩල සංවිධායක සභාව හා පක්ෂ සම්මේලනයේ අනුමැතිය මගින් ඉදිරියේදී පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්වෙනු ඇති බව ද හෙතෙම කීවේය.

විපක්ෂයට අසීරු මොහොතක නායකත්වය දුන් ඔහු වටා ජන බලමුළු රොදබඳිමින් සිටින බව ද කාගේවත් සිහින නොව ජනතාවගේ අපේක්ෂාවන් මේ මොහොතේ අපි සපුරාලිය යුතු බව ද කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස