රු. එක්ලක්ෂ දසදහසක පඩියට රු. 600ක් බදු ගැහුවම මොකද..? අකමැත්තෙන් වුණත් බදු වැඩි කළේ අත්‍යවශ්‍ය ඖෂධ ගන්න…! – සමන් රත්නප්‍රිය…

March 2, 2023 at 10:05 am | by emanisa.lk

වෘත්තීය සමිති ඊයේ (01) දිනයේදී වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබුණ ද රටේ කිසි ම ක්ෂේත්‍රයක ප්‍රායෝගිකව එවැනි වැඩ වර්ජනයක් දකින්නට නොලැබුණු බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.

දුම්රිය දෙපාතර්මේන්තුව හා ලංකා ගමනා ගමන මණ්ඩලය තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක නොවූ බව පැවසූ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සෞඛ්‍ය, අධ්‍යාපන හා තැපැල් ක්ෂේත්‍රයන්වල සාමාන්‍ය පරිදි රාජකාරි සිදුවූ බව සඳහන් කළේය .

තැපැල් සේවකයන් වැඩ වර්ජනයක නොයෙදී උද්ඝෝෂණයක් පමණක් සිදු කළ බව ත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් වැඩ වර්ජනයක නොයෙදී අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් දියත් කළ බව ත් හෙතෙම කීවේය.

විදුලි බල මණ්ඩලයේ සේවකයන් විදුලිය සැපයීම්, බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීම් ඇතුළු අනෙකුත් සේවා සාමාන්‍ය පරිදි සිදු කළ බව පැවැසූ රත්නප්‍රිය මහතා ලංවිම මූලස්ථානය තුළ පමණක් ඇතැම් කණ්ඩායම් අසනීප නිවාඩු වාර්තා කර උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ බව ප්‍රකාශ කළේ ය.

වරාය තුළ සෙමින් වැඩ කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ බව පැවැසූ හෙතෙම බැංකු ක්ෂේත්‍රයේ පමණක් යම් පමණකින් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වූ බව සඳහන් කළේ ය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සමන් රත්නප්‍රිය මේ බව පැවසීය.

මේ අවස්ථාවේදී වැඩ වර්ජනයක් සිදු කළ යුතුදැයි ගැටලුවක් පැනනගින බව පැවැසූ ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එවැන්නකට යොමුවීම බරපතළ වැරැද්දක් බවත් කීවේය.

ඒ අනුව පරස්පර ඉල්ලීම් ඉදිරිපත් කර ජනතාව අමාරුවේ දමා, වැඩ කරන පන්තිය පාරට ඇද දැමීමට දැවැන්ත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කළ දේශපාලන කණ්ඩායම්වල ක්‍රියාමාර්ගය අසාර්ථක වී තිබෙන බව ද හෙතෙම සඳහන් කළේ ය.

“ඖෂධ හිඟයට පිළියම් දෙනු,” “බදු අඩු කරනු” යන වෘත්තීය සමිතිවල ඉල්ලීම් දෙක පරස්පර විරෝධී බව ද රත්නප්‍රිය මහතා පැවසීය. ඖෂධ හිඟයට පිළියම් ලබා දීමට මුදල් සොයාගත යුතු බවත් ඒ සඳහා අකැමැත්තෙන් වුවද බදු වැඩි කළ බවත් පැවැසූ හෙතෙම බදු වැඩි නොකර රජයට වෙන කිරීමට දෙයක් නොමැති බව ත් ප්‍රකාශ කළේ ය.

ආර්ථික වශයෙන් බංකොලොත් වූ රට ගොඩගැනීමට සියලු දෙනා එකතුවිය යුතු බවත් ඊට දේශපාලන ස්ථාවරත්වය අවශ්‍ය බව ත් ඔහු කීවේය.

දේශපාලන වුවමනා මත එළියට බසින කිසිදු කම්කරුවෙකුට වැඩි කළ බද්ද අදාළ නොවන බව පැවසූ ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එම බද්ද රුපියල් එක්ලක්ෂ දසදහසින් ආරම්භ වන බව සඳහන් කළේ ය.

ඒ අනුව, රුපියල් එක්ලක්ෂ දසදහසක් ලබා ගන්නා අයෙකුට රුපියල් 600ක බද්දක් පමණක් අය කරන බවත්, එම මුදල පිනට ලබාදුන්නා යැයි සිතා ජීවත් විය නොහැකි මන්දැයි වෘත්තීය සමිතිවලින් විමසා සිටින බව ත් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස