රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ නවතා දැමේ…! අවශ්‍ය තැන්වලට අතිරික්ත සේවකයින්…!

September 13, 2022 at 1:30 pm | by emanisa.lk

රාජ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර ඇතැයි වැඩබලන කැබිනට් ප්‍රකාශක, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

ඉදිරි කාලයේ දී සේවා පවත්වා ගෙන යාම සඳහා සේවක අතිරික්තයක් තිබෙන අංශවලින් සේවකයන් යොදා ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි, ඇමතිවරයා සඳහන් කළේ.

එසේ ම රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම වෙනුවෙන් කමිටුවක් පත්කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද රමේෂ් පතිරණ කීවේය.

වර්තමානයේ පවතින ආර්ථික තත්වය හමුවේ රාජ්‍ය සේවය වඩා විධිමත්ව, කාර්යක්‍ෂමව හා ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යාම අරමුණු කරගෙන විවිධ අංශවල ඇති පුරප්පාඩු හා අතිරික්තයන් ගණනය කිරීමෙන් පසු එම සේවක සංඛ්‍යා තුලනය කිරීමට ද එම කමිටුව වැඩපිළිවෙළක් සකසනු ඇතැයි හෙතෙම පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *