සීතාවක අඩි 80ක් උස කසළ කන්දක් නායයාමේ අවදානමක! තවත් මීතොටමුල්ල ඛේදවාචකයක් අතළඟ!

April 20, 2019 at 9:34 am | by admin

සීතාවක නගර සභා බල ප්‍රදේශයේ දිනපතා එක්රැස් වන කසළ බැහැර කරන උක්වත්ත කසළ අංගනයේ කසළ කන්ද නායයාමේ අවදානමක් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

වසර 20ක් පමණ කසළ එකතු වීම නිසා අඩි 80ක පමණ කසළ කන්දක් ගොඩගැසී ඇති අතර මේ නිසා ප්‍රදේශවාසී ජනතාව චර්ම රෝගවලට සහ ශ්වසන රෝගවලට ගොදුරු වී ඇත.

පවතින වැසිබර කාලගුණය සමග කසළ කන්ද නාය යාමේ අවධානමක් මතුව ඇති අතර අවට පදිංචි පවුල් 8කට සිය නිවාසවලින් ඉවත් වීමට දැනුම් දී ඇත. එහෙත් එම ජනතාවට නව නිවාසවල පදිංචි වීමට කිසිදු සහනයක් ලබා දී නොමැති අතර අදාළ ලිපිය භාරගෙන ඇත්තේ පවුල් 04ක් පමණි.

මෙම කසළ කන්ද අසල නිවාස 100ක් පමණ ඇති රාජ්‍ය සේවා ගම්මානය සහ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයත් කැලණිවැලි දුම්රිය මාර්ගයත් පිහිටා ඇත. ඒ අසල ගමේ පන්සල ද පිහිටා ඇත.

මීට පෙර මීතොටමුල්ල කසළ කන්ද නායගොස් ජීවිත 30කට අධික ප්‍රමාණයක් අහිමි විය. එම විනාශයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ කොළඹ නගරසභාවේ අකාර්යක්ෂම පරිපාලනය බව මෑතක නිකුත් වූ විගණන වාර්තාවකින් හෙළි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *