රාජ්‍ය ත්‍රස්ත පනතට දසතින් දැඩි විරෝධය… UN සහ ජාත්‍යන්තර සංවිධානයත් එරෙහි වෙයි… යුරෝපා ජී.එස්.පී ප්ලස් සහනයත් අවදානමේ…!

October 30, 2026 at 3:38 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයට නිර්දේශ 9ක් ඉදිරිපත් කර තිබේ.

මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට පෙර, ඒ පිළිබද සොයා බලා ජනතාව සහ විද්වතුන් සමග සාකච්ඡා කරන ලෙසද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මෙරට රජයෙන් ඉල්ලා ඇත. ඒ සඳහා රජයට අවශ්‍ය තාක්ෂණික උදව් සහ උපදෙස් ලබා දීමට තමන් සූදානම් බව ද එම කාර්යාලය සඳහන් කරයි.

මේ අතර, මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළව මීට පෙර වාර්තා වී ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත ඇති වීමේ අවදානමක් පවතින බව ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය ද නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා තිබිණි.

අත්තනෝමතික රැඳවුම් භාරයන්, වධහිංසා පැමිණවීම්, නිරීක්ෂණ කටයුතු සහ පුරවැසි නිදහස සීමා වීම ආදිය එමගින් සිදුවන බව එම සංවිධානය සිය කනස්සල්ල පළකරමින් පෙන්වා දී ඇත.

එමෙන්ම, පොලිසිය විසින් ලබාගන්නා පාපොච්ඡාරණය මත පදනම්ව දඬුවම් නියම කිරිමට ඉඩදීම තුළින් වදහිංසා පැමිණවීම් දිරිමත් කිරීමට ද හේතු විය හැකි බවයි හියුමන් රයිට් වොච් සංවිධානයේ ආසියානු කලාපීය අධ්‍යක්ෂ එලෙන් පියර්සන් ප්‍රකාශ කරයි.

මෙම පනත දැනට පවතින ආකාරයෙන් සම්මත වුවහොත් මීට පෙර ක්‍රියාත්මක වූ ඒ හා සමාන දැඩි නීති මගින් සිදුවූ ආකාරයටම බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරිම් රැල්ලක් ඇති විමේ අවදානමක් පවතින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතින් ද සීමිත අධිකරණ අධීක්ෂණයක් යටතේ වසරක් දක්වා කාලයක් සඳහා වරකට මාස දෙක බැඟින් රැඳවුම් නියෝග ලබාදීමට ඉඩ සලසන අතර ඇප ලබා දීම සීමා කර ඇති බවත්, බරපතළ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවන්ට නිදහස් වීම සඳහා හිමිකම් ඇත්තේ සුවිශේෂී අවස්ථාවලදී පමණක් බව ද හියුමන් රයිට්ස් වොච් පෙන්වා දෙයි.

එමෙන්ම, යුරෝපා සංගම් වෙළඳපොළට විශේෂ වෙළඳ වරප්‍රසාද ලබා දෙන යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබා දී ඇති මානව හිමිකම් සහතික සහ කැපවීම් සම්බන්ධයෙන් ද මෙම යෝජිත නීති මඟින් ගැටලු මතු වන බව ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානයේ අදහසයි.

මෙවැනි පසුබිමක ජී.එස්.පී ප්ලස් බදු සහනය අහිමි වුවහොත් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවන බව ඒකාබද්ධ ඇඟළුම් අපනයනකරුවන්ගේ සංසදයේ විධායක කමිටු සාමාජික ඉන්දික ලියනහේවගේ ඊයේ කොළඹදී කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

එමෙන්ම, රජය විසින් යෝජනා කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට විරෝධය දක්වමින් ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තීය සමිති ඊයේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක ද නිරත විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය රජයට ඉදිරිපත් කර ඇති නිර්දේශ පහතින්.

1) ත්‍රස්තවාදය සහ ඒ ආශ්‍රිත වැරදි පිළිබඳ අර්ථ දැක්වීම පටු කර පැහැදිලි කිරීම; ආරක්ෂික ප්‍රකාශනය සහ සිවිල් ක්‍රියාකාරකම් අපරාධකරණය කළ හැකි විධි විධාන ඉවත් කිරීම හෝ සැලකිය යුතු ලෙස සංශෝධනය කිරීම
නීතිය මගින් ත්‍රස්තවාදය පැහැදිලිව අර්ථ දැක්විය යුතු අතර, එය මරණය හෝ බරපතල තුවාල සිදු කිරීම හෝ ප්‍රාණ ඇපයට ගැනීම වැනි ත්‍රස්තවාදී අරමුණක් සහිතව සිදු කරන ඉතා බරපතල, චේතනාන්විත ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා පමණක් සීමා කළ යුතුය. අපැහැදිලි හෝ ඉතා පුළුල් ලෙස දැක්වෙන වැරදි හේතුවෙන් සාමාන්‍ය අපරාධ හෝ කථනය සහ ප්‍රකාශනය, සාමකාමී රැස්වීම සහ ඇසුර ඇතුළු මූලික නිදහස නිත්‍යානුකූලව භුක්ති විඳීම ත්‍රස්තවාදය ලෙස සැලකීමේ අවදානමක් පවතී.

2) සෑම අත්අඩංගුවට ගැනීමක් සහ රඳවා තබා ගැනීමක් සඳහාම කඩිනම්, ස්වාධීන සහ ඵලදායී අධිකරණ අධීක්ෂණයක් නියම කිරීම
තැනැත්තා අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිසිය, සන්නද්ධ හමුදා හෝ වෙරළාරක්ෂක බලකාය විසින්ද යන්න නොසලකා, සෑම අත්අඩංගුවට ගැනීමක් සහ රඳවා තබා ගැනීමක්ෂවිනිසුරුවරයෙකු විසින් කඩිනමින් සමාලෝචනය කළ යුතුය. රඳවා තබා ගැනීමේ නියෝග සමාලෝචනය කිරීමට, පුද්ගලයන් නිදහස් කිරීමට හෝ ඇප ලබාදීමට විනිසුරුවරයන්ට බලය තිබිය යුතුය. රඳවා තබා ගැනීමේ තීරණය හුදෙක් විධායක නිලධාරියෙකු විසින් පනවනු ලැබීම සහ අධිකරණය විසින් එය ස්වයංක්‍රීයව පිළිගැනීම සිදු නොවිය යුතුය.

3) වධහිංසා පැමිණවීම, අයුතු ලෙස සැලකීම, අන්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට එරෙහි ආරක්ෂාව ශක්තිමත් කිරීම
රහසිගතව රදවා තබා ගැනීම සහ නීතිමය පදනමකින් තොරව රඳවා තබා ගැනීම වැළැක්විය යුතුය. නීතීඥවරයෙකු වෙත කඩිනම් සහ රහසිගත ප්‍රවේශය, විනිසුරුවරයෙකු සහ මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ රහසිගතව සාකච්ජා කිරීම සහ ස්වාධීන වෛද්‍ය පරීක්ෂණ සපයා දිය යුතුය. කාලානුරූපීව පවුල් දැනුවත් කිරීම, පුද්ගලයන් රඳවා තබා ගන්නා ස්ථාන ලියාපදිංචි කිරීම සහ අර්ථවත් ලෙස පවුලේ සම්බන්ධතා පැවැත්වීමට ඉඩ සැලසීම කළ යුතුය. නිලධාරීන් මෙම ආරක්ෂණයන් අනුගමනය කිරීමට අපොහොසත් වන විට ඊට එරෙහිව පියවර ගැනීම සහ පිළියම් ද පැවතිය යුතුය.

4) නිසි ක්‍රියාවලිය සහ සාධාරණ නඩු විභාග පිළිබඳ සහතික ශක්තිමත් කිරීම
චෝදනා ලැබූ සෑම පුද්ගලයෙකුටම සාධාරණ සලෙස සැලකිය යුතු අතර තමන් වෙනුවෙන් පෙනී සිටීමට සැබෑ අවස්ථාවක් ලබා දිය යුතුය. වරදකරු බව ඔප්පු වන තෙක් නිර්දෝෂී ලෙස පූර්ව නිගමනය කිරීම, චෝදනා සහ නඩු කටයුතු තේරුම් ගැනීම, නීතිඥවරයෙකු වෙත රහසිගතව ප්‍රවේශ වීම, අවශ්‍ය විටෙක ස්වාධීන භාෂා පරිවර්තන සහය ලබා ගැනීම සහ සාක්ෂි මෙන්ම රඳවා තබා ගැනීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කිරීමට හැකිවීම මෙයට ඇතුළත් වේ. වධහිංසා පැමිණවීම, තර්ජන, නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම හෝ අවශ්‍ය ක්‍රියා පටිපාටි අනුගමනය කිරීමට බරපතල ලෙස අපොහොසත් වීම හරහා ලබාගත් පාපොච්චාරණයන් ඇතුළු සාක්ෂි භාවිතා නොකළ යුතුය.

5) ආක්‍රමණශීලී සෝදිසි කිරීම, ඇතුළුවීම් සහ අල්ලා ගැනීමේ බලතල සඳහා අධිකරණ වරෙන්තු රීතිය ඇතුලත් කිරීම
ස්ථානයකට ඇතුළු වීමට හෝ සෝදිසි කිරීමට පුද්ගලයන් සෝදිසි කිරීමට හෝ දේපළ අත්අඩංගුවට ගැනීමට පෙර බලධාරීන් විනිසුරුවරයෙකුගේ අවසරය ලබා ගත යුතුය. අතිරේක අදාළ විය යුත්තේ පටු ලෙස අර්ථ දක්වා ඇති හදිසි අවස්ථාවන් සඳහා පමණක් වන අතර, ඒවා ඉක්මන් අධිකරණ සමාලෝචනයට යටත් විය යුතුය. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ අනුමැතිය. ලිඛින හේතු දැක්වීම සහ ඉහළ නිලධාරියෙකුගේ කඩිනම් සමාලෝචනය ද ඊට ඇතුළත් විය යුතුය.

6) සිවිල් පොලිසියේ ප්‍රමුඛතාව සහතික කිරීම
අත්අඩංගුවට ගැනීම්, සෝදිසි කිරීම, ප්‍රශ්න කිරීම හෝ රඳවා තබා ගැනීම සඳහා යුද්ධ හමුදාවන්ගේ හෝ වෙරළාරක්ෂක බලකායේ මැදිහත්වීම සුවිශේෂී සහ පැහැදිලිවම සීමිත විය යුතුය. පොලිස් බලතල භාවිතා කරන යුද්ධ හමුදා නිලධාරින්, ඔවුන්ගේ ක්‍රියාමාර්ග සඳහා පැහැදිලි අධික්ෂණයක් සහ වගකීමක් සහිතව, සිවිල් පොලිස් බලධාරීන්ට වගකීමට බැඳී සිටිය යුතුය.

7) ඵලදායි ස්වාධීන අධීක්ෂණය, වගවීම සහ පිළියම් ස්ථාපිත කිරීම
මෙම බලතල භාවිතා කරන ආකාරය පරීක්ෂා කිරීමටත්, වැරදි ක්‍රියා හඳුනා ගැනීමටත්, වගකිව යුතු නිලධාරීන් වගකීමට යටත් කිරීම සහතික කිරීමටත් ස්වාධීන ආයතනවලට හැකි විය යුතුය. උල්ලංඝනය කිරීම අභියෝගයට ලක් කිරීමට, නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීමෙන් නිදහස් වීමට, වාර්තා නිවැරදි කිරීමට සහ නිසි පරීක්ෂණ, වන්දි හෝ වෙනත් සහනයන් ලබා ගැනීමට ජනතාවට ප්‍රායෝගික මාර්ග තිබිය යුතුය.

8) නිර්මුක්ති විධි විධාන පටු කිරීම
තමන් යහපත් චේතනාවෙන් හෝ තමන්ගේ නිල රාජකාරියේ කොටසක් ලෙස කටයුතු කළ බව ප්‍රකාශ කළ පමණින් නිලධාරීන් නීතිමය වගකීමෙන් ආරක්ෂා නොවිය යුතුය. නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම, වධහිංසා පැමිණවීම, අයුතු ලෙස සැලකීම, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම, නොසැලකිලිමත් ක්‍රියා, බරපතල ලෙස නොසලකා හැරීම හෝ වෙනත් බරපතල අයිතිවාසිකම් උල්ලංසනය කිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ, නඩු පැවරීම හෝ වන්දි ලබාදීම නීතිමය ආරක්ෂණයන් මගින් බාධා නොකළ යුතුය.

9) තවදුරටත් නීති සම්පාදන ක්‍රියාමාර්ග ගැනීමට පෙර අර්ථවත් ලෙස මහජන උපදේශන ක්‍රියාවලියක් පැවැත්වීම.
ඉදිරියට යාමට පෙර, යෝජිත නීතිය සමාලෝචනය කිරීමට රජය විසින් බලපෑමට ලක්වූ ප්‍රජාවන්ට, ප්‍රජා සංවිධානවලට, නීති විශේෂඥයින්ට, ස්වාධීන ආයතනවලට සහ ශ්‍රී ලංකාව පුරා සිටින අනෙකුත් අයට සැබෑ අවස්ථාවක් ලබා දිය යුතුය. මෙම ක්‍රියාවලිය විවෘත සහ සියලු දෙනා අන්තර්ගත කර ගන්නා පනත් විය යුතු අතර, නීතියක් බවට පත්වීමට පෙර එය සමාලෝචනය කිරීමේදී සහ නැවත ලියන විට අදහස් සලකා බැලිය යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස