රාජපක්ෂලා මෙන් අනුරලා අපේ අපේක්ෂා සුන් නොකරන බව විශ්වාසයි….! – වකමුල්ලේ උදිත හිමි….

August 5, 2025 at 11:44 am | by emanisa.lk

“අපට ඕනෑ ලෝකය ඉදිරියේ අපේ රට ඔසොවා තැබිය හැකි නායකයෙක්” යැයි භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ පැවැසූහ. ලිච්ඡවී රාජ්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කරන බවට විවිධ අය කටමැත දෙඩවුවත් ඔවුන් ජාතික ජන බලවේගයේ ජන ප්‍රවාහයට අවලාද නැඟීම නතර කළ යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ. මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේ පැවැති ජාතික භික්ෂු පෙරමුණේ සඟ සමුළුව අමතමින් උන්වහන්සේ මේ අදහස් පළ කළහ. උන්වහන්සේ එහිදී වැඩිදුරටත් මෙසේද කීහ.

“අපේ රටේ ජාතික නිදහස අහිමි කර අධිරාජ්‍යවාදීන් අපේ රට යටත් කරගන්න උත්සාහ කළ මුල්ම අවස්ථාවේ සිට වාරියපොළ හාමුදුරුවෝ, ගිරාණේගම හාමුදුරුවෝ, කුඩාපොළ හාමුදුරුවෝ, චන්ද්‍රජෝති සීලවංශ හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය පෙරට ආවා. ඉන්පසුව මෑත ගත්තාම බළන්ගොඩ නායක හාමුදුරුවෝ, යක්කඩුවේ හාමුදුරුවෝ, වල්පොළ රාහුල හාමුදුරුවෝ, මිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ, එස්. මහින්ද හාමුදුරුවෝ වැනි භික්ෂුන් වහන්සේ පෙරමුණ ගත්තේ අපේම නායකයෙක් පත් කරගන්න. නමුත්, 1948 සුද්දන්

අපව දාලා ගියාට පස්සේ කළුසුද්දන් සුද්දන්ටත් වඩා විනාශයක් රටට සිදු කර තිබෙනවා. ඒ නිසා අපේ හුස්ම, අපේ මහපොළොව ගැන අවබෝධයක් තිබෙන, ලෝකය ඉදිරියේ අපේ රට ඔසොවා තැබිය හැකි නායකයෙක් අපට ඕනෑ. ජනතාවාදී නායකයෙක් බිහි කරගන්න ලැබී තිබෙන අවස්ථාව නිසයි මහ සඟරුවන මේ මහා සඟ සමුළුව පවත්වන්නේ. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කරවීම සඳහා මේ සමුළුව පවත්වනවා. ජාතික ජන බලවේගය ගොඩනැඟී තිබෙන විවිධ කණ්ඩායම් අතර ඒ ඒ ක්ෂේත්‍රවල අය සංවිධානය කළ ආකාරයටම භික්ෂුන් වහන්සේ හැටියට සංවිධානය කිරීම ජාතික භික්ෂු පෙරමුණේ අපට පැවරී තිබුණා.

ඒ බලවේගය සංවිධානය කිරීම අද මල්පල ගැන්වී තිබෙනවා. 2001 අපේ භික්ෂු පෙරමුණ ගොඩනඟනකොට හතු පිපෙන්නා වාගේ වූ භික්ෂු සංවිධාන කොපමණ තිබුණද? අද ඒ කිසිවක් නැහැ. පටු අපේක්ෂා, පටු ලාභ ප්‍රයෝජන ඔස්සේ ගිය ඒ සංවිධාන ඔවුන්ගේ ආයු කාලය නිමා කර පාෂාණීභූත වෙලා තිබෙනවා. විදේශීය හාමුදුරුවන් වහන්සේ පවා මෙතැනට වැඩමකොට සිටිනවා. ඔබ වහන්සේ වැඩම කළේ අපේක්ෂා කළ ජනතාවාදී නායකයා ලෙස අනුර දිසානායක මැතිතුමාගේ විජයග්‍රහණයට සෙත් පතන්නයි.

මහනුවර, මොළගොඩ රජමහ විහාරාධිපති, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අග්ගමහා සද්ධානුජෝතිකධජ ජේ‍යෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි

“අනුර කුමාර දිසානායක මැතිතුමා මේ රටේ නව වැනි විධායක ජනාධිපති ලෙස තෝරා පත් කරගෙන පුනරුද යුගයේ ජයග්‍රහණ පුරවැසියන් වෙත ලබා දීම ආරම්භ කරන බව ඉර හඳ වාගේ විශ්වාසයි. අනාගත පරපුරට යහපත් දේශයක්, යුක්තිගරුක සමාජයක් බිහි කිරීමේ වගකීම ඉටු කරන්නයි මේ අවස්ථාවට දහස් ගණනක් මහා සංඝරත්නය වැඩම කර සිටින්නේ. ජනතා විමුක්ති පෙරමුණෙන් පටන්ගෙන ජාතික ජන බලවේගය දක්වා පැමිණි ගමනේදී මහා සංඝරත්නය කළ කැප කිරීම් අපට කිසිසේත්ම අමතක කරන්න බැහැ. උන්වහන්සේ වසර ගණනාවක් තිස්සේ තමන්ගේ ජීවිත පරදුවට තබලා ජාතික සමඟියක් වාගේම ජාතික පුනරුදයක් ඇති කිරීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළා. එය මහා සංඝරත්නයේ යුතුකම හැටියට එදත්, අදත්, හෙටත් සලකනවා. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන සෞභාග්‍යවත් අනාගතයක් බිහි කිරීමට වර්තමානයේදී දූරදර්ශී ප්‍රඥාවකින් කටයුතු කරන නායකයෙක් අපට අවශ්‍යයි.

අපට අවශ්‍ය වන්නේ රටට ආදරය කරන පැහැදිලි දැක්මක් ඇති නායකයෙක් ජනාධිපතිවරයා බවට පත්කරන්නයි. වංචාවෙන්, දූෂණයෙන් තොර අවශ්‍ය අවස්ථාවේදී සෘජු තීරණ ගන්නා අවංක නායකයෙක් වාගේම මෘදු විය යුතු තැනදී මෘදු තීරණ ගන්නා නායකයෙක් අපට අවශ්‍යයි. වංචා, දූෂණයෙන් තොර රට ගොඩනැඟිය හැකි නායකයෙක් අපි ප්‍රාර්ථනා කරන්නේ. ජනතාවගේ දුක හ¾දුනන, බලය වෙනුවෙන් රට පාවා නොදෙන නායකයා වශයෙන් අපි අනුර කුමාර දිසානායක මහත්මයා තෝරාගෙන ඔහුව ජයග්‍රහණය කරවන්න මහ නායක හාමුදුරුවන් වහන්සේගේ සිට තරුණ හාමුදුරුවන් වහන්සේ දක්වා පෙළගැසී අවසන්. උතුරේ සිට දකුණටත් නැඟෙනහිර සිට බටහිරටත් සියලුම ප්‍රදේශවල සමාන සංවර්ධනයක් ඇති කර මේ රටේ ජීවත් වන සියලු ජන කොටස්වලට සතුටින් ජීවත් විය හැකි රටක් ගොඩනැඟිය හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් නැතිව ශ්‍රී ලාංකික සන්නාමයෙන් ලෝකය ඉදිරියේ අභිමානයෙන් නැඟීසිටිය හැකි තත්ත්වයක් නිර්මාණය කර දෙන බවට මේ රටේ බහුතර ජනතාවගේ විශ්වාසයයි. සියලු දෙනාටම ආගමික අයිතිය හා නිදහස තහවුරු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.

සමහර අය කියනවා, පළපුරුදු පාලකයන්ට රට භාර දෙන්න ඕනෑ කියලා. එහෙම නම්, ඔවුන්ට අවුරුදු හැත්තෑහයක් තිස්සේ මේ රට ගොඩනඟන්න බැරි වුණේ ඇයි කියලා අපි ප්‍රශ්න කරනවා. ඔවුන්ගේ ආත්මාර්ථකාමී, අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා රට සංවර්ධනය කරන්න බැරි වුණා පමණක් නොවෙයි, අන්ත දිළි¾දු තත්ත්වයට ඇද දැම්මා.

අපේ රටේ මිනිසුන් බොහොම අහිංසක බලාපොරොත්තු ඇතිවයි මහින්ද රාජපක්ෂට ඡන්දය දුන්නේ. යුද්ධය අවසන් වන විට ඒ අහිංසක බලාපොරොත්තු තවත් වැඩි වුණා. අන්තිමේදී ගෝඨාභය රාජපක්ෂ එනකොට තවදුරටත් බලාපොරොත්තු ඉහළ ගියා. දැන් සියලු බලාපොරාත්තු බිඳවැටුණු මිනිසුන් තමන්ගේ උත්තුංග බලාපොරොත්තු ඉටු කර ගැනීමට සූදානම් වී සිටිනවා. ඒ ජනතාවගේ බලාපොරොත්තු ඔබතුමාගේ නායකත්වය යටතේ සුන් නොවේය කියන ප්‍රාර්ථනය අප හැම දෙනාටම තිබෙනවා.”

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක

“කුරුණෑගල පවත්වන ලද සජබ රැස්වීමේ මහාචාර්ය චරිත හේරත් මහතා කියා තිබෙනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ඇත්කඳවල විහාරයේ පෙරහර පවත්වන්න දෙන්නේ නැහැ කියලා. ඒ වාගේම මහනුවරදී තිස්ස අත්තනායක කියන කූට ලේඛන පිළිබඳ විශේෂඥයා කියා තිබෙනවා අපි බලයට ආවොත් නුවර දළදා පෙරහරේ අලි-ඇත්තු යන එක නතර කරනවා කියලා. තවත් සමහරු කියා තිබෙනවා මාලිමාව බලයට ආවොත්, පන්සලට දානයක්වත් ලැබෙන්නේ නැති වෙයි කියලා.

අද දහස් සංඛ්‍යාත ගරුතර මහා සංඝරත්නය මේ ශාලාවේ ඉඩ මදි වන තරමට වැඩම කිරීමෙන් පෙනෙන්නේ මේ අසත්‍යය කතා නොපිළිගන්නා බවයි. අපි ආගම පිළිබඳව, සමාජය පිළිබඳව ඕපපාතිකව කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ. දැනුමක් තිබෙන අයගෙන් විමසා බලා කරුණු පැහැදිලි කර ගන්නවා. අත්තංගනේ මහ නායක හාමුදුරුවන්ට මම පෞද්ගලිකව කතා කරලා යම් කරුණු නිරාකරණය කරගෙන තිබෙනවා. අපි වේදිකාවේදී අතට එන යමක් අරගෙන ගහන දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි. නොදන්නා දේවල්

ගැන දැනුවත් වී වඩා යහපත් දිශාවකට මේ සමාජය යොමු කරන්න වෙහෙසෙන ව්‍යාපාරයක්. ඒ නිසා ආගම සහ මේ සමාජය පිළිබඳව අපට තිබෙන්නේ ගැඹුරින් හැදෑරූ, අසා දැනගත් ඔවදන්වලින් ලබා ගත් අවබෝධයක්. ඕනෑම සමාජයක් ශිෂ්ටසම්පන්නභාවයට, ස්ථාවරත්වයට ගෙන එන්න නීතිරීති වාගේම ආගමික පසුබිමත් බලපානවා. මුළු සමාජයක් නීතිවලින් පමණක් මෙහෙයවන්න බැහැ. රීති, සම්ප්‍රදායන්, ආගමික විශ්වාසයන් ආදී සමස්තයක එකතුවෙන් සමාජයක ස්ථාවරභාවය ඇති කෙරෙනවා. කවුරු හෝ කෙනෙක් හිතුවක්කාරී විදිහට සම්ප්‍රදායන්, ඇදහිලි, විශ්වාස කඩාබිඳ දමනවා නම් කලබැගෑනි සහිත අරාජික සමාජයක් බවට පත් වෙනවා.

එක් එක් රටවල සම්ප්‍රදායන්, ඇදහිලි, විශ්වාස ගොඩනැඟෙන්නේ විශාල ඉතිහාසයක් සහිත පසුබිමකින්. මේ මොහොතේ පවතින්නේ අතීතයේ දිගුකාලීන විකාශනයක්. එවැනි තත්ත්වයන් කඩාබිඳ දැමීමෙන් මහපොළොවත් එක්ක ඓන්ද්‍රීය බැඳීමක් නැති, ශිෂ්ටාචාරයක් නැති, හුදු පාවෙන මිනිස් රොඩු බවට පත් වන ජාතියක් බවට පත් වෙනවා. සමාජයක් ඉස්සරහට යන්නේ ඒ සමාජය ගොඩනැඟුණු

ශිෂ්ටාචාරයේ පවතින ඇදහිලි, විශ්වාස ඉවත් කරමින් නොවෙයි, ඒ සමඟ එකිනෙකාගේ මිශ්‍ර වීමෙන් සහ අලුත් දේවල් එකතු කර ගැනීමෙන්. ලෝකයේ දියුණු යැයි සම්මත කිසිදු සමාජයක් තමන්ගේ ඓතිහාසික ශිෂ්ටාචාරය පසෙක තබා දියුණුවේ ඔරුව පැද යන්නේ නැහැ.

අපේ භික්ෂු සමාජය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනවා. ගිහි සමාජය කොයියම්ම මොහොතක හෝ අසරණභාවයට පත් වනවා නම්, එයින් මුදා ගැනීමේ ප්‍රමුඛතම කාර්යභාරය අපේ භික්ෂු සමාජය දරා සිටිනවා. රට අනතුරුදායක තත්ත්වයකට පත් වනවා නම්, අපේ හාමුදුරුවන් වහන්සේ පෙරටු කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. ආගමික පැත්තෙන් පමණක් නොවෙයි, සමාජයීය පැත්තෙන් ගත්තත් භික්ෂුන් වහන්සේ ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.

පෞද්ගලිකව මම ගත්තොත් සිංහල, බෞද්ධ පරිසරයක හැදුණේ, වැඩුණේ. අපේ අම්මලා, තාත්තලා අපට හොඳ, නරක කියලා දෙන්න උපුටා ගන්නේ ජාතක කතා පොත. අපේ ගමේ සංස්කෘතික ක්‍රියාකාරකම් පන්සල එක්ක බැඳී තිබුණා. ඒ වාගේම හින්දු පරිසරයක හැදුණු, වැඩුණු අයට ඔවුන්ගේ ආධ්‍යාත්මය බවට පත් වන්නේ හින්දු සංස්කෘතික පරිසරයක්. මුස්ලිම් ජන කණ්ඩායම් හැදී වැඩෙන්නේ අල්-කුරානයේ මඟපෙන්වීමත් එක්කයි. ක්‍රිස්තියානි ජන ප්‍රජාවට හොඳ, නරක කියලා දෙන්නේ ක්‍රිස්තු චරිතය නැත්නම්, බයිබලය. අප හැදෙන, වැඩෙන පරිසරය අනුව සිංහල බෞද්ධ ආධ්‍යාත්මයත් මුස්ලිම් ඉස්ලාම් ආධ්‍යාත්මයත්, දෙමළ හින්දු ආධ්‍යාත්මයත් නැත්නම්, කිතුනු ආධ්‍යාත්මයත් ලැබෙනවා. අනෙකාට එරෙහිව ගොඩනඟන ආණ්ඩුවක් කවදාවත් රටේ සමඟිය නිර්මාණය කරන්න සමත් වෙන්නේ නැහැ. අපි ආණ්ඩුවක් සෑදිය යුතුයි. නමුත්, අනෙකාට එරෙහිව නොවෙයි. සියලු දෙනාම එකතු කර ගත් සමඟි සම්පන්න ආණ්ඩුවක් හදන්න ඕනෑ.

සමහර අය කියනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියෙන් තහවුරු කොට තිබෙන බෞද්ධාගමට හිමි විය යුතු ස්ථානය මාලිමාව ආණ්ඩුවකින් අපි ඉවත් කරන බව 2015-2019 කාලයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීම සම්බන්ධ සාකච්ඡා සභාවේ මූලාසනය දැරුවේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මම සහ බිමල් රත්නායක සහෝදරයා, සම්පන්දන් මහතා, සුමන්දිරන් මහතා, හකීම් මහතා, මනෝ ගනේෂන් මහතා ඇතුළු පිරිසක් එය නියෝජනය කළා. නමුත්, ඒ කිසිවෙක් නව වැනි වගන්තිය සංශෝධනය කළ යුතුයි කියලා යෝජනා කළේ නැහැ. ඒ නිසා පොදු සමාජයේ කිසිවකුටත් ඒ වගන්තිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. නමුත්, ජාතික ජන බලවේගය

සම්බන්ධයෙන් නව වැනි වගන්තිය ඉවත් කරන බවට භීතිකාවක් ඇති කරන්න හදනවා. එසේ නොකරන බව අපේ හාමුදුරුවරුන් ඉදිරියේ මම අවධාරණය කරනවා. ලෝකයේ නව දැනුම සහ විද්‍යාත්මක සොයාගැනීම් තුළින් උකහාගත යුතු සියල්ල උකහා ගනිමින්, ඉදිරියට යෑමයි. ලෝකය සමඟ ඉදිරියට යන දියුණු ශ්‍රී ලාංකේය ජාතියක් නිර්මාණය කිරීම ජාතික ජන බලවේගයේ මූලික ක්‍රියාමාර්ගයයි. අප ඉදිරිපිට තිබෙන්නේ කඩාවැටුණු සමාජය ශිෂ්ටසම්පන්න බවට පත් කිරීමේ වගකීම අප හැම දෙනාටම තිබෙනවා. ඒ වගකීම ඉටු කිරීමේ ආණ්ඩුවක් ගොඩනඟා ගනිමු. අපේ රටේ ආර්ථිකයේ නව පුනරුදයක් ඇති කරමින්, නව පදනමක් සකසාගත යුතු වෙනවා. අපේ රටේ විනාශ වී තිබෙන සමාජය

ගොඩනැඟීමට කැත, මජර දේශපාලනය වෙනස් කිරීමට පටන් ගන්න වෙනවා. ඔබ වහන්සේ අත්හරින්නේ නැති යුතුකමක් වෙනුවෙන් පේවී සිටිනවා. ආගමික සහ සමාජ වගකීමක් අත්හරින්නේ නැතිව දරා ගනිමින්, ඔබ වහන්සේ සිවුරක් දරාගෙන සිටිනවා. එය ඔබ වහන්සේගේ ජීවිතයි. අපි අත්හරින්නේ නැති සමාජ, දේශපාලනික වගකීමක් තෝරාගෙන තිබෙනවා. අපි දෙපිරිස එකට සිටගනිමින්, මේ රට නව යුගයක් බවට පරිවර්තනය කිරීමට ක්‍රියා කරමු කියන ආරාධනය කරනවා. මේ අවස්ථාවට වැඩමකොට අපට ශක්තියක් දෙමින්, අනුශාසනා කිරීම පිළිබඳව ගෞරවපූර්වක ස්තුතිය පුද කරනවා.” මහාචාර්ය අත්තංගනේ රතනපාල නාහිමියෝ සමුළුවේ මුලසුන දැරූහ.

මව්බිම

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස