රනිල් ඉල්ලා අස්නොවුණොත් මුළු කොළඹ ම වටකරනවා..! – ජීවන්ත පීරිස් පියතුමා…

July 13, 2022 at 10:38 am | by emanisa.lk

ජනාධිපතිවරයා සමගින් අගමැතිවරයා ද අද (13) ඉල්ලා අස්නොවන්නේ නම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සමගින් අද මුළු කොළඹ ම වටකරන බව අරගලයේ ක්‍රියාකාරී සාමාජික ජීවන්ත පීරිස් පියතුමා පවසයි.

අරගලකරුවන් වශයෙන් තව දුරටත් තමන්ට ඉල්ලීම් නැති බවත් අද ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු බවත් ඒ වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් අද කොළඹට පැමිණෙන බවත් පියතුමා සඳහන් කළේය.

ගෝල්ෆේස් අරගලකරුවන් “ජනතා අරගලය අවසන් ජයග්‍රහණය තෙක් අරගල බිමේ ක්‍රියාකාරී සැලැස්ම” මැයෙන් කොන්දේසි හයක් ඇතුළත් ක්‍රියාකාරී සැලැස්මක් ඊයේ (12 ) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී දේශපාලන පක්ෂ නායකයින්, නියෝජිතයින් මෙන්ම සිවිල් හා බහුජන සංවිධාන ක්‍රියාකාරීන් ඉදිරියේ ප්‍රකාශයට පත්කෙරිණි.

එම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන් හා රාසමානික්කම් ශානක්‍යන් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමද සිදුවිය යුතු බවත් දින කිහිපයකට හෝ තාවකාලික ජනාධිපති ධුරයට පත්වීමට රනිල් වික්‍රමසිංහට ඉඩ නොදිය යුතු බවත් පැවසූ අතර ඊට පිළිතුරු දෙමින් ජීවන්ත පීරිස් පියතුමා මේ බව අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *