ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ දැනට සිටින මන්ත්‍රී බහුතරය ඉදිරි ජාතික මැතිවරණය තෙක් රැක ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට එම පක්ෂයේ ප්‍රධාන නායකයන් පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
රොෂාන් රණසිංහ, නිමල් ලන්සා, අනුර යාපා ඇතුළු පිරිසක් මේ වන විටත් පක්ෂයෙන් ස්වාධීනව කටයුතු කරන අතර ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, ශෙහාන් සේමසිංහ, දිලුම් අමුණුගම ඇතුළු පිරිසක් රනිල් වික්‍රමසිංහ නැවත ජනාධිපති විය යුතු බව පවසමින් ප්‍රකාශ නිකුත් කරන නිසා එම පිරිස රනිල් වික්‍රමසිංහ සමග එකතු වනු ඇති බවට පොදුජන පෙරමුණු නායකත්වයට සැකයක් ඇති වී ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
පොදුජන පෙරමුණු දිස්ත්‍රික් නායකයන්ට ඇමති ධූර නොදීම නිසා එම මන්ත්‍රීන් දස දෙනෙකු පමණ මේ වන විට කලකිරීමෙන් සිටින බැවින් ඔවුන් පක්ෂය අතහැර යාම වැළැක්වීම වෙනුවෙන් වහා පියවර ගත යුතු බව ත් පක්ෂ නායකත්වයේ තීරණය වී තිබේ.
බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පසුගිය දා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළේ, මෙම අර්බුද විසඳාගැනීම සඳහා යැයි ද වාර්තා වේ. ජනාධිපතිවරයා පත්කර ගන්නා විට පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු 134ක් ඊට ඡන්දය දුන්න ද පසුගිය පාර්ලිමේන්තු පනත් සම්මත කර ගැනීම්වල දී එය එකසිය විසි ගණනකට අඩු වී තිබිණි.