රත්ගම ව්‍යාපාරික ඝාතනයට දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට!

February 25, 2019 at 10:18 am | by admin

රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් පහර දී ඝාතනය කොට පුළුස්සා දැමීම සම්බන්ධයෙන් දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන ඉදිරි දින කිහිපය ඇතුළත අත්අඩංගුවට ගැනීමට නියමිත බැව් වාර්තා වෙයි.

මේ වන විට රවී විජේගුණවර්ධන කොළඹ පොලිස් මූලස්ථානය වෙත මාරු කර යවා ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙය වන පරීක්ෂණවල දී ඔහු පිළිබඳ සැකකටයුතු තොරතුරු රාශියක් හෙළි වී තිබේ.

ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගත් දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ක්‍රියාත්මක වූයේ මොහු යටතේ වන අතර ජනවාරි 23 වන දින දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යන බව ඔහු යටතේ සේවය කළ පොලිස් නිලධාරියකු පොලිස් සටහනක් ද තබා තිබේ. මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගැනීම සිදුවන්නේ ද එම දිනයේමය.

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා සිය මාළු සහ මස් ව්‍යාපාරවලට අමතරව ගිනි අවි කුලියට දීමේ ව්‍යාපාරයක් ද කරගෙන ගොස් ඇති අතර නීිති විරෝධි ගිනි අවියක් පිළිබඳ ප්‍රශ්න කිරීමට පොලිස් නිලධාරීන් 13 දෙනෙකු පැමිණ මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගිනි අවිය පිළිබඳ ප්‍රශ්න කරමින් මොවුන්ට පහර දෙන අතර එක් ව්‍යාපාරිකයකු මිය ගොස් ඇති අතර අනෙක් ව්‍යාපාරිකයාට ද පහර දී මරා දමා සිරුරු දෙක වලස්මුල්ල ප්‍රදේශයේ වනාන්තරයකට ගෙන ගොස් පුළුස්සා දැමීමට කටයුතු කර ඇත.

කෙසේ වුවද මෙම ඝාතනයට සම්බන්ධ වී ඇත්තේ පොලිස් නිලධාරීන් 7 දෙනෙකු පමණක් වන අතර ඒ අතරින් නිශාන්ත සිල්වා සහ විරාජ් මධුශංක යන සැකකරුවන් මේ වන විටත් අත්අඩංගුවේ පසුවෙයි. මේ වන විට සැකකාර පොලිස් කොස්තාපල්වරුන් 4 දෙනෙකු අතුරුදන් වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *