රණවිරු සැමරුම් මැද කියුබානු වීරයාගේ පිළිරුවක් කොළඹ විවෘත වෙයි…!

May 20, 2026 at 5:05 pm | by emanisa.lk

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සිය ෆේස්බුක් පිටුවේ තබන ලද සටහනකි.

​ශ්‍රේෂ්ඨ කියුබානු ජාතික වීරයකු, කවියකු, ලේඛකයකු, දාර්ශනිකයකු සහ මාධ්‍යවේදියකු වූ ජෝසේ මාර්ටි (José Martí) මහතාගේ අනුස්මරණ පිළිරුවක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී විවෘත කෙරිණි.

1853 ජනවාරි 28 උපන් එතුමා කියුබාවේ සහ ලතින් ඇමරිකාවේ නිදහස වෙනුවෙන් දිවි පිදූ අතර, එතුමාගේ අනුස්මරණ දිනය මැයි 19 වන දිනට යෙදී තිබුණි.

​මෙම අවස්ථා අමතමින් මා පෙන්වා දුන්නේ පීඩිත ජන අයිතීන් වෙනුවෙන් නිර්භීතව සටන් කළ සොඳුරු මිනිසාගේ දර්ශනය සහ මතකය සදා අනුස්මරණීය බවයි. කියුබානු තානාපතිනී පැට්‍රීසියා ලාසාරෝ පේගෝ ගුවේරා, ශ්‍රී ලංකා – කියුබා මිත්‍රත්ව සංගමයේ සම සභාපතිවරුන් වන ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ආචාර්ය තිලංග සුමතිපාල මෙන්ම කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් ද ජෝසේ මාටි පිළිබඳව විශේෂ දේශන පැවැත්වූහ.

​ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ කියුබානු තානාපතිනිය සමඟ ජෝසේ මාර්ටි මහතාගේ පිළිරුව විවෘත කිරීමට එක් වූයෙමි.

​අනතුරුව ටිල්වින් සිල්වා මහතා, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, කොළඹ උප නගරාධිපති සහ කියුබානු තානාපතිනිය ඇතුළු සම්භාවනීය පිරිස පිළිරුව වෙත මල් කලඹ තබා උපහාර දැක්වූහ.

​මෙම පිළිරුව ප්‍රවීණ මූර්ති ශිල්පී ඇන්ඩෲස් ගොන්සාලෙස්ගේ නිර්මාණයක් වන අතර, එහි සමස්ත සැලසුම්කරණය වාස්තුවිද්‍යාඥ කේෂාන් ද සිල්වා විසින් සිදුකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *