ජනතාවට වින කළ, රටට විනාශය රැගෙන ආ, රාජපක්ෂ පරපුරත්, රාජපක්ෂ ආණ්ඩුවත් ඒකාන්තවම ගෙදර යවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එයින් නොනැවතී ඒ අසීමිත විධායක බලතල සහිත ජනාධිපති ධූරය සහමුලින් අහෝසි කරන බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ වෙනුවෙන් ජනතා ආශීර්වාදය ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේය.
සමගි ගොවි බලවේගය විසින් දෙහිඅත්තකන්ඩිය නගරයේ සංවිධානය කර තිබූ ගොවි ජන රැළියකට ඊයේ (09) එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය. ගොවි ජනතාව දහස් ගණනින් එම රැලියට එක් ව සිටියහ.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් අත ඔසවා ඔබේ සහයෝගය ලබාදෙන්න යැයි විපක්ෂ නායකතුමා එහිදී ජනතාවගෙන් ඉල්ලා සිටි අතර රැලියට එක් ව සිටි ජනතාව දෑත් ඔසවමින් ඊට තම ප්‍රතිචාර දැක්වීය.
ජනාධිපතිකම් වේවා, අගමැතිකම් වේවා, ඇමතිකම් වේවා, මන්ත්‍රී කම් වේවා, ඒවා තිබෙන්නේ තමන්ගේ පවුලේ බඩ ගෝස්තරය වඩා ගැනීමට රස්සාවක් ලෙස නොවන බව මතක තබා ගත යුතු යැයි කී විපක්ෂ නායකතුමා, ජනතාව එම තනතුරු ලබා දෙන්නේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් බව මතක තබා ගත යුතු යැයි ද පැවසීය.
දුර්දාන්ත රාජපක්ෂ පාලනයේ නිමාව ඉතා ආසන්න බව පැවසූ විපක්ෂ නායකතුමා රටත් ජනතාවත් විනාශය කරා රැගෙන ගිය පාලනය නිමා කිරීම වෙනුවෙන් පොදු ජනතාව පොදු ජනතාව පෙළ ගැසී ඇති බව ද පැවසීය.