රට වහල තිබ්බා කියල කොවිඩ් හොඳ වෙන්නේ නෑ..! සුදත් සමරවීර කල්ලිය වැඩේ අනනවා…! – GMOAවෙන් ජනපතිට යෝජනාවලියක්…

June 5, 2021 at 9:01 am | by emanisa.lk

වසංගත රෝග විද්‍යා ඒකකයේ අත්තනෝමතික ක්‍රියාමාර්ග නිසා කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීමේ දී විශාල ගැටලු සහගත තත්ත්වයක් උදා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසයි.

ඉතා ම භයානක අන්දමින් පැතිර යමින් තිබෙන කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා සකස් කරන ලද විශේෂ වැඩපිළිවෙළට සම්බන්ධ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පෙරේදා
(03) භාරදුන් බව ද වෛද්‍ය පාදෙණිය සඳහන් කරයි.

“වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානියා ඇතුළු තුන්දෙනකුගේ මතයට අනුව තමයි මේ වෙනකොට කොරෝනා මර්දන ක්‍රියාවලිය කරගෙන යන්නේ. වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානියාට ඒ තනතුර සඳහා සුදුසුකම් තිබුණට එයාට ප‍්‍රායෝගිකව මේ කටයුත්ත කළ යුතු ආකාරය පිළිබඳව දැනුමක් නැහැ.

ඒ වගේ ම මේ ඒකකයේ තවත් විශේෂඥ වෛද්‍යවරුන් 24 දෙනකු රාජකාරි කරනවා. මේ ඒකකයේ ප‍්‍රධානියා ඇතුළු තුන්දෙනෙක් තමන්ට අවශ්‍ය ආකාරයට තවත් කිසිවකුගේ අවවාදයකට උපදෙසකට කන්නොදී කටයුතු කරගෙන යනවා.

මේක ඉතාම භයානක තත්ත්වයක්. මේ වෙනකොට රට තියෙන්නෙ ඉතාම භයානක තත්ත්වයක. අපි හරි ආකාරයට කටයුතු නොකළහොත් මේ වෛරස ව්‍යාප්තිය පාලනය කරගන්න බැරි තත්ත්වයක් උදා වෙන්න පුළුවන්.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාට යෝජනා කීපයක් ඉදිරිපත් කළා. මේ යෝජනා සකස් කිරීමට අපි වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් 24 දෙනකුගෙ දැනුම උපයෝගි කරගත්තා.

අපිට රට හැමදාම වහලා තියන්න බැහැ. ඒ නිසා අපි ක‍්‍රමවත් වැඩපිළිවෙළකට යන්න ඕනෙ. එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතාම විධිමත් ආකාරයට කරන්න අවශ්‍යයි. රටේ ජනතාවගෙන් 70%ක් පමණ එන්නත්කරණයට භාජනය කළ යුතුයි.

රටේ මරණ අනුපාතය අවම කර ගන්න වයස අවුරුදු 60 ඉක්මවූ අයට බෝ නොවන රෝග ඇති අයට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ අය මෙන්ම රෝගීන් හා ගැටෙන පාර්ශ්වවලට මුලින්ම එන්නත් ලබාදිය යුතුයි.

ඒ ක‍්‍රමය හරහා අපට මරණ අනුපාතය අඩු කර ගන්න පුළුවන්. මේ වන විට සිදුවී ඇති කොරෝනා මරණවලින් විශාල ප‍්‍රමාණයක් වාර්තා වෙන්නෙ වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන්. ඒ වගේ ම බෝ නොවන රෝගවලට ගොදුරු වූ අය. ඒ නිසා අපි මුලින්ම ඒ අය එන්නත්කරණය සඳහා යොමු කළ යුතුයි.

ඒ වගේම කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් තම නිවසේ රඳවාගෙන ප‍්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළ ක‍්‍රමවත්ව කළ යුතුයි. මේ සියලු කරුණු කාරණාවලට විසඳුම් සහිත වාර්තාවක් අපි ජනාධිපතිවරයාට ලබා දුන්නා. ඒ පිළිබඳව ජනාධිපතිවරයා සිය අවධානය යොමු කර තිබෙනවා යැයි ද වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය වැඩිදුරටත් කියා සිටියේය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස