රට බංකොලොත් බව ප්‍රකාශ කිරීම නිසා ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සෘජුවම නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරයි.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එම අදහස් පළ කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (25) පැවති උත්සවයකට එක්වෙමිනි.
“2022 අප්‍රේල් 12 වෙනිදා අපිට විදේශ ණය ගෙවීමේ හැකියාව නැති බව ප්‍රකාශ කරන කොට රජය මගින්, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා මේවා කළා කියලා මම දැක්කා පසුගිය දවස්වලත් යම් යම් මත පල වෙලා තියෙනවා.
මතයක් පල වුණා රටේ අරගලයක් ක්‍රියාත්මක වෙලා දේශපාලකයන්ගේ ගෙවල් ගිනි තැබීමට හේතු වුණේ මෙන්න මේක කියලා. ජනතා නියෝජිතයන් කියන සමහර අයගෙන් ප්‍රකාශ වුණා, ඒක නිසා අපේ ගෙවල් ගිනි තියන්නේ නැතුව අන්න අහවල් නිලධාරීන්ගේ, මහ බැංකු අධිපතිගේ හෝ භාණ්ඩාගාර ලේකම්ගේ හෝ ඒ අයගේ ගෙවල් ගිනි තියන්න කියලා.
මොනම ආකරයක හෝ ප්රචණ්ඩත්වය අපි වෘත්තීමය නිලධාරීන් ලෙස ප්‍රතික්ෂේප කළ යුතු දෙයක්. නමුත් අවාසනාවකට එහෙම ප්‍රකාශය කරන මහජන නියෝජිතයන් මේ රටේ ඉන්නවා.
විශේෂයෙන්ම මේ ණය ගෙවීමේ නොහැකියාව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇත්නම් වහාම ඒ ගැන පරීක්ෂණයක් කරලා අවශ්‍ය නීතිමය කටයුතු කරන්න කියන එකට මම හිතන්නේ ඒක විවෘතව ඉතාම කැමැත්තෙන් ප්‍රකාශ කරන්න ඕනා. ඒ සඳහා දෙන්න ඕන උපරිම සහයෝගය අපි මහ බැංකුව වශයෙන්, මුදල් අමාත්‍යාංශය වශයෙන් ඒ සහයෝගය ලබා දෙනවා.”